3. 1. 3.
3. රාජ සූත්‍රය
114. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය. එකත්පසෙක හුන් පසේනදි කොසොල් රජතෙමේ “ස්වාමීනි, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් ඇත්තේදැ” යි භාග්‍යවතුන් වහන්සේගෙන් ඇසීය.
“මහරජ, උපන් තැනැත්තාට ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, මහාසාර කුලවල උපන් යම් ඒ ක්‍ෂත්‍රියයෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් බ්‍රාහ්මණයෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහාසාර කුලවල උපන් ගෘහපතියෝ ධනයෙන් ආඪ්‍යවූ, මහත් ධන ඇත්තාවූ, බොහෝ සම්පත් ඇත්තාවූ, බොහෝ රන්රුවන් ඇත්තාවූ, මන පිනවන බොහෝ දේ ඇත්තාවූ, බොහෝ ධන ධාන්‍ය ඇත්තාවූ වෙත්ද, ඔවුන්ටද, ජරා මරණ දෙකින් ගැළවීමක් නැත. මහරජ, කෙලෙස් නැසූ, මග බඹසර වැස නිමවූ, සතර මගින් කටයුතු කොට නිමවූ, කෙලෙස් බර බහා තැබූ, රහත් බවට පැමිණි, භව බන්‍ධන නැසූ, සතර සත්‍යයන් තතුසේ දැන කෙලෙසුන් ගෙන් මිදුනාවූ, යම් ඒ රහත් භික්‍ෂු කෙනෙක් වෙත්ද, ඔවුන්ගේත් මේ කය බිඳෙන ස්වභාව ඇත්තේය. ඉවත දැමියයුතු ස්වභාව ඇත්තේය.”
“විසිතුරු කරනලද රජුන්ගේ රථද දිරති. එසේම ශරීරයද දිරීමට පැමිණෙයි. එහෙත් බුද්‍ධාදී උත්තමයන්ගේ සද්‍ධර්‍මය දිරුමට නොපැමිණේ. එහෙයින් ඒ උත්තමයෝ ඒ සද්‍ධර්‍මය (නිවන) ඒකාන්ත පිහිට ලෙස ඔවුනොවුන්ට ප්‍රකාශ කරති.”
3. 1. 4.
4. පිය (නොහොත් පියඅත්ත) සූත්‍රය
115. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, තනිව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- ‘කවුරුන්ට තමා ප්‍රියද? කවුරුන්ට තමා අප්‍රියද?’ කියායි.
ස්වාමීනි, ඒ මට මේ සිත විය: ‘යම්කිසි කෙනෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. අපගේ ආත්මය හෙවත් තමා තමන්ට ප්‍රියයයි යම් ලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා අප්‍රියමය. ඊට හේතු නම්:- අප්‍රියයෙක් අප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කෙරෙති. එහෙයින් ඔවුන්ට තමා අප්‍රියය.
‘යම්කිසි කෙනෙක් කයින් සුචරිතයෙහි හැසිරෙත්ද, වචනයෙන් සුචරිතයෙහි හැසිරෙත්ද, සිතින් සුචරිතයෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය. අපට තමා අප්‍රියයයි කිසිලෙසකින් ඔවුන් කියතත් ඔවුන්ට තමා ප්‍රියමය. ඊට හේතු නම්:- ප්‍රියයෙක් ප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කරෙති. එහෙයින් ඔවුන්ට තමා ප්‍රියයි.”
“මහරජ, ඒ එසේය. මහරජ, ඒ එසේය. මහරජ, යම්කිසිවෙක් කයින් දුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් දුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් දුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා අප්‍රියය. කිසිලෙසකින් ඔවුන් ‘අපට තමා ප්‍රියය’යි කියතත් ඔවුන්ට තමා අප්‍රියමය. ඊට හේතු නම්:- අප්‍රියයෙක් අප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කෙරෙති. එහෙයින් ඔවුන්ට තමා අප්‍රියය.
මහරජ, යමෙක් කයින් සුසිරිතෙහි හැසිරෙත්ද, වචනයෙන් සුසිරිතෙහි හැසිරෙත්ද, සිතින් සුසිරිතෙහි හැසිරෙත්ද, ඔවුන්ට තමා ප්‍රියය. ඔවුන් ‘අපට තමා අප්‍රියය’යි කිසිලෙසකින් කියතත් ඔවුන්ට තමා ප්‍රියමය. ඊට හේතු නම්:- ප්‍රියයෙක් ප්‍රියයෙකුට යමක් කෙරේනම්, ඔවුහු එය තමන්ටම කරෙති. එහෙයින් ඔවුන්ට තමා ප්‍රියයි.”
“ඉදින් යමෙකුට තමා ප්‍රියයයි දන්නෙනම් ඒ තමා පවෙහි නොයෙදෙන්නේය. (සුසිරිත් කිරීමෙන් ලද හැකි සැප) දුසිරිත් කරන්නා විසින් පහසුවෙන් ලද හැකි නොවේ.
මාරයා විසින් යටපත්කරගන්නා ලද්දාවූ, මිනිස් සිරුර හැර දමන්නාවූ ඔහුට කුමක්නම් තමන් සතු වේද, ඔහු කුමක් රැගෙන (පරලොව) යයිද, තමන් පසුපස යන සෙවනැල්ල මෙන් කුමක් නම් ඔහු අනුව යයිද?”
“මිනිසා මෙලොවදී යම් පිනක් හෝ පවක් කරයිද, ඒ ඔහුට තමන් සතුවෙයි. ඔහු එය රැගෙන (පරලොව) යයි. තමන් පසුපස යන සෙවනැල්ල මෙන් ඒ ඔහු අනුව යයි. එහෙයින් පරලොවට හිතසැප පිණිස දේ රැස් කරන්නා කුසල් කරන්නේය. කුසල් පරලොවදී සත්ත්‍වයන්ට පිහිට වෙති.”
3. 1. 5.
5. අත්තරක්ඛිත (රක්ඛිතන්ත) සූත්‍රය
116. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක එකල්හි පසේනදි කොසොල් රජතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, වැඳ එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක හුන් පසේනදි කොසොල්රජ භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය. “ස්වාමීනි, හුදකලාව විවේකීව හුන් මට මෙබඳු විතර්‍කයක් පහළවිය. එනම්:- කවුරුන් විසින් තමා නොරක්නා ලදද, කවුරුන් විසින් තමා රක්නා ලදද?” යනුයි.