2. 3. 7.
නන්‍ද සූත්‍රය
108. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු නන්‍ද දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
“කාලයෝ ඉක්මයෙත්. රාත්‍රීහු මරණයට පමුණුවත්. වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්. මේ භය මරණ ලා දක්නේ සැප ගෙන දෙන පින් කරන්නේය.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“කාලයෝ ඉක්මෙත්. රාත්‍රීහු මරණයට පමුණුවත්. වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්. මේ මරණ භය සලකන්නේ පරම ශාන්තිය පතා ලෞකික ආශාව දුරලන්නේය.”
2. 3. 8.
නන්‍දිවිසාල සූත්‍රය
109. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් නරවනලද ආරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු නන්‍දිවිසාල දෙව්පුත් තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ නන්‍දිවිසාල දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
‘මහා වීරයන් වහන්ස, රෝද සතරක් ඇති, දොර නවයක් ඇති, අසූචියෙන් පිරුණු ලෝභයෙන් යුක්තවූ, මඩෙන් උපන් ශරීර යානයාගේ මිදී යෑම කෙසේ වන්නේද?’
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.)
“බද්‍ධ වෛර නමැති ලනුවද, (සෙසු කෙලෙස් නමැති) වරපටද, නොලත් දෙයෙහි ආශාවද, ලත් දැයෙහි ආශාවද, සිඳ දමා (අවිද්‍යා නමැති) මුල සහිත තණ්හාව උදුරා දැමීමෙන් මෙසේ ශරීර යානයාගේ මිදී යෑම වන්නේය.”
2. 3. 9.
සුසීම සූත්‍රය
110. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිත්තෙන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක ඉඳගත්තේය. එක් පසෙක උන් ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. “ආනන්‍දය, ශාරීපුත්‍ර තෙම තොපටත් රුස්නේද?”
“ස්වාමීනි, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිතැති කාහට නම් ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ නොරුස්නෝද? ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ පණ්ඩිතයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේකයෙන් තනිවූහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ස්වාමීනි, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ස්වාමීනි, බාල නොවූ, දුස්ට නොවූ, මූඪ නොවූ, නොපෙරැළුණු සිත් ඇති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?”
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ආනන්‍දය, ඒ එසේය. ආනන්‍දය, ඒ එසේය. ආනන්‍දය බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපර්‍ය්‍යාසවූ සිත් නැති කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද? ආනන්‍දය ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙම පණ්ඩිතයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ මහා ප්‍රාඥයහ. ආනන්‍දය ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ විශාල (පළල්) ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ බහුල ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ ජවන (වේලාවන්) පුඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ තීක්‍ෂන ප්‍රාඥයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ නිර්වේධ (සංස්කාරයන්හි කළකිරීම් බහුලවූ) ප්‍රඥාවෙන් යුක්තයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ (ත්‍රිවිධ) විවේක යෙන් තනිවූහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ කුලයන් හා නොගැටුණහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ සම්පූර්ණකළ වීර්‍ය්‍ය ඇත්තෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දක්‍ෂ කථිකයහ. ආයුෂ්මත් ශාරීපුත්‍රයාණෝ අවවාද ඉවසන සුල්ලෝය. ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ දොස් පෙන්වන්නාහ, ආයුෂ්මත් ශාරීපුත්‍රයෝ පාපය පිළිකුල් කරන්නාහ. ආනන්‍දය, බාල නොවූ, දුෂ්ට නොවූ, මූඪ නොවූ, විපර්‍ය්‍යාසවූ සිත් නැති, කාට නම් ශාරීපුත්‍රයෝ නොරුස්නෝද?”