2. 2. 6.
සුදත්ත සූත්රය
97. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුදත්ත නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි සුදත්ත දෙව්පුත් තෙම භාග්යවතුන් වහන්සේට ගාථායෙන් මෙසේ කීය:
“හුලකින් අනිනු ලැබූවෙකු හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද, ඉස ගිනි ගත්තකු නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද, මහණතෙම කාමරාගය දුරලනු පිණිස සිහි ඇතිව උත්සාහ කරන්නේය.”
[භාග්යවතුන් වහන්සේ:]
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) හුලකින් අනිනු ලැබූවෙකු හුල ගලවා දැමීමට උත්සාහ කරන්නාක් මෙන්ද, ඉස ගිනි ගත්තකු ගිනි නිවා ගැනීමට උත්සාහ කරන්නාක් මෙන්ද, මහණතෙම සිහි ඇතිව සත්කාය දෘෂ්ඨිය වනසනු පිණිස (උත්සාහීව) වසන්නේය.”
2. 2. 7.
සුබ්රහ්ම සූත්රය
98. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුබ්රහ්ම නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි සුබ්රහ්ම දෙව්පුත් තෙම භාග්යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:
“නූපන් දුක් අරමුණු කොටද, උපන් දුක් අරමුණු කොටද, (මගේ) මේ සිත නිතරම තැති ගත්තේය. මේ සිත නිකර බියෙන් සැලුනේ වෙයි. ඉදින් නොකැතිගත් සිතෙක් ඇත්නම් මවිසින් විචාරන ලද ඔබ එය මට වදාරන්න.”
[භාග්යවතුන් වහන්සේ:]
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “(සප්ත) බෝධ්යඞග වැඩීමෙන් වෙන්ව, තපෝ ගුණයෙන් වෙන්ව, ඉන්ද්රිය සංවරයෙන් (ශීලයෙන්) වෙන්ව, නිවනින් වෙන්ව, සත්නට සුවයක් නොදකිමි.”
2. 2. 8.
කකුධ සූත්රය
99. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් මුවවනයෙහි වැඩවෙසන සේක. එකල්හි වනාහි කකුධ නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන්නාවූ ශරීර පැහැ ඇත්තේ සියලු අඳුන්වන බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි කකුධ දෙව්පුත් භාග්යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය:
“ශුමණය, සතුටුවෙහිදැ?” යි. “ඇවැත්නි, කුමක් ලැබීමෙන්දැ?”යි (භාග්යවත්හු ඇසූහ.) “එසේනම් ශ්රමණය, ශෝක කෙරෙහිදැ?”යි (දෙව්පුත් ඇසීය.) “ඇවැත්නි, ශෝකවන්නට කුමක් දිරාගියේදැ?”යි (භාග්යවත්හු ඇසූහ.) “එසේනම් ශ්රමණය, සතුටුත් නොවෙහිද? ශෝකිත් නොවෙහිදැ?”යි (දෙව්පුත් ඇසී.) “ඇවැත්නි, එසේය” යි (භාගයවතුන් වහන්සේ වදාළහ.)
“මහණ, කිම, ඔබ නිදුක්ද? කිම, ඇල්මෙක් නොවේද? කිම, හුදෙකලාව ඉන්නා ඔබ වෙත කලකිරීම නොපැමිනේද?” (දෙව්පුත් ඇසීය.)
[භාග්යවතුන් වහන්සේ:]
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “යක්ෂය, මම ඒකාන්තයෙන් නිදුක්වෙමි. එසේම ඇල්මෙක්ද මට නැත. එතෙකුදු වුව කලකිරීමද මා නොමැඩලයි.”