2. 2. 7.
සුබ්රහ්ම සූත්රය
98. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි සුබ්රහ්ම නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි සුබ්රහ්ම දෙව්පුත් තෙම භාග්යවතුන් වහන්සේට ගාථායෙකින් මෙසේ කීය:
“නූපන් දුක් අරමුණු කොටද, උපන් දුක් අරමුණු කොටද, (මගේ) මේ සිත නිතරම තැති ගත්තේය. මේ සිත නිකර බියෙන් සැලුනේ වෙයි. ඉදින් නොකැතිගත් සිතෙක් ඇත්නම් මවිසින් විචාරන ලද ඔබ එය මට වදාරන්න.”
[භාග්යවතුන් වහන්සේ:]
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “(සප්ත) බෝධ්යඞග වැඩීමෙන් වෙන්ව, තපෝ ගුණයෙන් වෙන්ව, ඉන්ද්රිය සංවරයෙන් (ශීලයෙන්) වෙන්ව, නිවනින් වෙන්ව, සත්නට සුවයක් නොදකිමි.”
2. 2. 8.
කකුධ සූත්රය
99. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සාකේත නුවර සමීපයෙහි අඳුන්වන නම් මුවවනයෙහි වැඩවෙසන සේක. එකල්හි වනාහි කකුධ නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන්නාවූ ශරීර පැහැ ඇත්තේ සියලු අඳුන්වන බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි කකුධ දෙව්පුත් භාග්යවතුන් වහන්සේගෙන් මෙසේ ඇසීය:
“ශුමණය, සතුටුවෙහිදැ?” යි. “ඇවැත්නි, කුමක් ලැබීමෙන්දැ?”යි (භාග්යවත්හු ඇසූහ.) “එසේනම් ශ්රමණය, ශෝක කෙරෙහිදැ?”යි (දෙව්පුත් ඇසීය.) “ඇවැත්නි, ශෝකවන්නට කුමක් දිරාගියේදැ?”යි (භාග්යවත්හු ඇසූහ.) “එසේනම් ශ්රමණය, සතුටුත් නොවෙහිද? ශෝකිත් නොවෙහිදැ?”යි (දෙව්පුත් ඇසී.) “ඇවැත්නි, එසේය” යි (භාගයවතුන් වහන්සේ වදාළහ.)
“මහණ, කිම, ඔබ නිදුක්ද? කිම, ඇල්මෙක් නොවේද? කිම, හුදෙකලාව ඉන්නා ඔබ වෙත කලකිරීම නොපැමිනේද?” (දෙව්පුත් ඇසීය.)
[භාග්යවතුන් වහන්සේ:]
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “යක්ෂය, මම ඒකාන්තයෙන් නිදුක්වෙමි. එසේම ඇල්මෙක්ද මට නැත. එතෙකුදු වුව කලකිරීමද මා නොමැඩලයි.”
[දෙවපුත්රයා:]
“මහණ, ඔබ කෙසේ නම් නිදුක්වහුද? ඇල්ම කෙසේ නම් නැත්තෝද? කලකිරුම හුදෙකලාවූ ඔබ කෙසේ නම් නොමැඩලාද?” (දෙව්පුත් ඇසීය.)
[භාග්යවතුන් වහන්සේ:]
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “සසර දුකෙහි පිහිටියාහට තණ්හාව ඒකාන්තයෙන් වෙයි. උපන් තණ්හා ඇත්තහුට ඒකාන්තයෙන් දුක් ඇතිවෙයි. මම්වූ කලී තණ්හා නැති, එහෙයිම දුක්ද නැති භික්ෂුවක් වෙමි. ඇවැත්නි මෙය මෙසේ දැනගන්න.”
[දෙවපුත්රයා:]
“පව් දුරලූ, පිරිනිවනින් නිවුණු, තණ්හාව නැති, දුක් නැති, ලොල් ඇල්ම ඉක්මවූ, භික්ෂුවරයකු බොහෝ කලකින් දුටිමි” යි දෙව්පුත් කීය.
2. 2. 9.
උත්තර සූත්රය
100. රජගහනුවර -
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්දක නිවාප නම්වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි උත්තර නම් දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක සිටියේය. එක් පසෙක සිටි උත්තර දෙව්පුත් තෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“ජීවිතය ගෙවෙයි. ආයු මඳය. ජරාවට එළඹියාහට එය වළකාලිය හැකි රැකවරණෙක් නැත. මේ මරණ භය සලකා සුව ගෙනදෙන පින් කටයුතු.”
[භාග්යවතුන් වහන්සේ:]
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “ජීවිතය ගෙවෙයි. ආයු මඳය. ජරාවට පැමිණියාහට රැකවරණ නැත. මේ මරණ භය සලකා නිවන් කැමැත්තේ ලෞකික ආශාව දුරු කටයුතුය.”
2. 2. 10.
අනාථපිණ්ඩික සූත්රය
101. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් නරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු අනේපිඬු දෙව්පුත් බබළන ශරීර වර්ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි අනේපිඬු දෙව්පුත් භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
“ඎෂි සමූහයා විසින් නිතර සේවනය කරනලද ධර්ම රාජයන් වහන්සේ විසින් විසුම්ගත් මේ ජේතවනය මට ප්රීති උපදවන්නේය.
“කර්මයද, ප්රඥාවද, සමාධියද, උතුම්වූ සිල්වත් ජීවිතයද යන මෙයින් සත්ත්වයෝ ශුද්ධ වෙති. ගෝත්රයෙන් හෝ ධනයෙන් හෝ ශුද්ධවීමෙක් නැත.
“එබැවින් නුවණැති, තමාගේ දියුණුව දක්නා පුරුෂයා ධර්මය නුවණින් විමසා බැලියයුතු. මෙසේ එහිලා ඔහු පිරිසිදුවේ.