2. 1. 3.
මාඝ සූත්රය
84. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල මාඝ (ශක්ර) දෙව්පුත් රෑ පෙරයම ඉක්මගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි මාඝ දෙව්පුත් භාග්යවතුන් වහන්සේට ගාථායෙන් මෙය කීය:
“කුමක් නම් නසා සුවසේ සැතපේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් එක් දැයෙක විනාශයට සතුටුවහුද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ක්රෝධය නසා සුවසේ සැතපෙයි. ක්රෝධය නසා ශෝක නොකෙරේ. ශක්රය, දුඃක විපාක විෂමූලයක් ඇති, මිහිරිවූ අගක් ඇති, ක්රෝධයාගේ විනාශය ආර්ය්යයෝ ප්රශංසා කරත්. එය නසා ශෝක නොකෙරේ.”
2. 1. 4.
මාගධ සූත්රය
85. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි මාගධ දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි මාගධ දෙව්පුත් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි ගාථායෙන් (මෙසේ) කීය:
“යමෙකින් ලොව ආලෝකවත් වේ නම්, එසේ වූ පහන් කීයෙක් ලොව වෙත්ද? භාග්යවතුන් වහන්සේගෙන් විචාරන්නට අවුක් සිටිමු. එය අපි කෙසේ දැනගත හැක්කෙමුද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ලොව පහන් සතරෙකි. මෙහි පස්වැන්නෙක් නැත. දහවල් හිරු බබළයි. රෑ සඳු බබළයි.”
“තවද ගින්න රෑ දවල් දෙක්හිම ඒ ඒ තැන බබළයි. බබළන්නවුන් අතුරෙන් සම්යක් සම්බුද්ධ තෙම ශ්රෙෂඨයි. මෙම නිරුත්තර ආලෝකයයි.”
2. 1. 5.
දාමලි සූත්රය
86. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි දාමලි දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දාමලි දෙව්පුත් තෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“මෙහි (මේ සස්නෙහි) බ්රාහ්මණයා (රහත්හු) විසින් අකුසීතව (ප්රධන්) වීර්ය්යය කටයුතුය. කාමයන් දුරලීමෙන් ඔහු භවය නොපතයි.”
“(දාමලිය,) බ්රාහ්මණයා විසින් (රහත්හු විසින්) නැවත කළ යුත්තෙක් නැත. බ්රාහ්මණතෙම (රහත් තෙම) ඒකාන්තයෙන් කොට නිමවූ කටයුතු ඇත්තේය. සත්ත්ව තෙමේ ගංගාවෙහි ස්ථිරව සිටීමට තැනක් නොලබන තෙක්ම සියලු ශරීර අවයවවලින් (ගොඩනගින්නට) තැත් කෙරේ. ඔහු ස්ථිරව සිටීමට තැනක් ලැබ සිටගත්තේ (ඉන්පසු) උත්සාහ නොගනී. කවර හෙයින්ද යත්, ඔහු එගොඩ වූයේය. එබැවිනි.”
“දාමලිය, ප්රඥා ඇති, ධ්යානයෙහි ඇලුණු, ආශ්රව නැසූ, පව් බැහැර කළාහට මේ උපමාවෙකි. ඔහු ජාති මරණ දෙකේ කෙළවරට පැමිණ, ඒකාන්තයෙන් (භව සාගරයේ) පරතෙරට ගියේ, උත්සාහ නොකෙරේ.”
2. 1. 6.
කාමද සූත්රය
87. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි කාමද දෙව්පුත් තෙම රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි කාමද දෙව්පුත් භාග්යවතුන් වහන්සේට, “භාග්යවතුන් වහන්ස, දුස්කරය, අතිශයින් දුෂ්කරය” යි කීය.
“කාමදය, ශීලයෙන් යුක්තවූ ස්ථිර සිත් ඇති, ශෛක්ෂයෝ දුෂ්කරවූද මහණදම් කරත්, ගිහිගෙන් වෙන්වූ බවට පැමිණියාහටම සැප ගෙන දෙන ලද දැයෙහි සතුට වෙයි.”
“භාග්යවතුන් වහන්ස, මේ ලද සිවුපසයෙහි සතුටය යන යමෙක් ඇද්ද, එයද දුර්ලභ දෙයකි.”
“කාමදය, දිවා රෑ දෙක්හි යම් කෙනෙකුන්ගේ සිත (භාවනායෙහි) ඇලුණේද, සිත සන්සිඳීමෙහි ඇලුණු ඔවුහු දුර්ලභවූ නමුදු ඒ සතුට ලබත්.”
“භාග්යවතුන් වහන්ස, මේ සිත නම් වූ යමක් ඇද්ද, එය එකඟ කිරීම දුෂ්කරය.”
“කාමදය, (චක්ෂුරාදී) ඉන්ද්රියයන් සන්සිඳවීමෙහි ඇලුණෝ එකඟකිරීමට දුෂ්කරවූ නමුදු (සිත) එකඟ කරත්. ඒ ආර්ය්යයෝ මරහුගේ දැල (කෙලෙස් දැල) සිඳදමා යෙත්.”
“භාග්යවතුන් වහන්ස, මාර්ගය දුකසේ යා යුතුය, විෂමය.”
[භාග්යවතුන් වහන්සේ:]
“කාමදය, ආර්ය්යයෝ දුකසේ යායුතුවූද මාර්ගයෙහි යෙත්. අනාර්ය්යයෝ යටිකුරුවූ හිස ඇත්තෝ විෂම මාර්ගයෙහි වැටෙත්. මාර්ගය ආර්ය්යයන්ට සමය, ආර්ය්යයෝ සම නුවූයෙහි සම වූවෝයි.”