2. 1. 10.
සූරිය සූත්‍රය
91. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල්හි වනාහි සූර්‍ය්‍යදෙව්පුත් තෙම රාහු අසුරිඳු විසින් අල්ලා ගන්නා ලද්දේ විය. එකල සූර්‍ය්‍ය දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සිහි කරනුයේ මේ ගාථාව කීය:
“බුද්ධ වීරයන් වහන්ස, ඔබට නමස්කාර වේවා. ඔබ හැමතන්හි මිදුණෝය. (මම) පීඩාවට පැමිණියෙම් වෙමි, එසේවූ මට පිහිට වන්න.”
එකල්හි භාග්‍යවතුන් වහන්සේ සූර්‍ය්‍ය දෙව්පුතු අරභයා රාහු අසුරිඳුට (මෙසේ) ගාථාහි අජ්ඣභාසි:
“එම්බා රාහු, සූර්‍ය්‍ය දෙව්පුත් තෙම අර්‍හත්වූ තථාගතයන් සරණ ගියේය. ඒ සූර්‍ය්‍ය දෙව්පුතු අතහරුව. බුදුවරු ලොවට අනුකම්පා කරන්නෝය.”
“එම්බා රාහු, අන්‍ධකාරයෙහි යමෙක් එලිය කරන්නේද, බබළන්නේද, මඬුලු සටහන් ඇත්තේද, උග්‍ර තේජස් ඇත්තේද, එසේවූ අහස හැසිරෙන සූර්‍ය්‍යයා නොගිලුව, මගේ ශ්‍රාවක බවට පැමිණි සූර්‍ය්‍යයා අතහරුව.”
එකල රාහු අසුරිඳු සූර්‍ය්‍ය දෙව්පුතු අතහැර ඉක්මන් ස්වභාවය ඇත්තේ වේපචිත්ති අසුරිඳු වෙත පැමිණියේය. පැමිණ, කැලැඹුණේ ලොමු දැහැගැනුම ඇත්තේ, එක් පසෙක සිටියේය. එක් පසෙක සිටි රාහු අසුරිඳුට වේපචිත්ති අසුරිඳුට ගාථායෙන් (මෙසේ) කීය:
“එම්බා රාහු, කවර හෙයින් ඉක්මන්ව මෙන් හිරු දෙව්පුතු අතහැරියෙහිද? කවර හෙයින් කැලැඹුණු, ස්වභාවය ඇතිව, බිය ගත්තකු මෙන් සිටිනෙහිද?”
“බුදුරජුන් විසින් ගාථායෙන් ආමන්‍ත්‍රණය කරණලදුයෙමි. (ඒ මම) ඉදින් සූර්‍ය්‍ය දෙව්පුතු නොමුදාලීම් නම්, මා හිස සත්කඩකට පැලෙන්නේය..ජීවත්වන්නෙම් නම් සැපයක් නම් නොලබන්නෙමි.”
ප්‍රථම සූරිය වර්ගයයි
එහි උද්දානය:
“කස්සප සූත්‍ර දෙක ද, මාඝ, මාගධ, දාමලි, කාමද, පඤ්චාලචණ්ඩ, තායන, චන්දිම, සුරිය යන මොහු දස දෙනෙකි.”
2. අනාථපිණ්ඩික වර්‍ගය
2. 2. 1.
චන්‍දිමස සූත්‍රය
92. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි චන්‍දිම දෙව්පුත් තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර ශෝභා ඇත්තාහු සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි ඒ චන්‍දිමස නම් දෙව්පුත් තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීයේය:
“යම් කෙනෙක් ධ්‍යානයනට පැමිණ, එකඟ සිතැතිව,ප්‍රඥා ඇතිව, සිහි ඇතිව වෙසෙත්ද, ඔහු වනාහි පර්‍වත දැලක හෝ ගංගා දැලක හෝ වසන මුවන් මෙන් සැපයට පැමිණෙන්නාහ.”
[භාග්‍යවතුන් වහන්සේ:]
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “යම් කෙනෙක් ධ්‍යාන ලැබ නොපමාව කෙලෙස් නසන්නේද, ඔහු තුමූ නූල් දැලක් බිඳගෙන මිදී යන මාලුවෙකු මෙන් පරතෙරට (නිවනට) යන්නාහ.”
2. 2. 2.
වෙණ්හු සූත්‍රය
93. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු වෙණ්හු දිව්‍යපුත්‍ර තෙම බබළන ශරීර වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි වෙණ්හු දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය.
“යම් කෙනෙක් සුගතයන් වහන්සේ ආශ්‍රයකොට නොපමාව ගෞතම ශාසනයෙහි යෙදී ශික්‍ෂා පුරත්ද, ඒ මනුෂ්‍යයෝ ඒකාන්තයෙන්ම සැප ඇත්තෝම වෙත්.
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.) “වෙණහුවෙනි, යම් කෙනෙක් ධ්‍යානයෙහි ඇලුණේව මා කී අනුශාසනා පදයන් අනුව හික්මෙත්ද, සුදුසු කාලයෙහි නොපමාවන ඔවුහු මරහුට වසඟ නොවන්නාහ.”
2. 2. 3.
දීඝලට්ඨි සූත්‍රය
94. සැවැත් නුවර–
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර සමීපයෙහි කලන්‍දක නිවාප නම්වූ වේළුවනයෙහි වසන සේක.
එසමයෙහි දීඝලට්ඨි නම් දිව්‍යපුත්‍ර තෙම රෑ පෙරයම ඉක්ම ගිය පසු බබළන ශරීර පැහැ ඇත්තේ සියලු වේළුවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි දීඝලට්ඨි දිව්‍යපුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේ ට ගාථායෙන් මෙසේ කීය:
“මේ රහත් බව අනුසස් කොට ඇති මහණතෙම (ශාසනයෙහි) හෘදය යයි කියනලද රහත්බව පතන්නේනම්, ධ්‍යානයෙහි ඇලුණෙක් වන්නේය. සංස්කාරයන්ගේ පහළ වීමත්, නැසීයාමත්, විදර්‍ශනා ඥානයෙන් දැන, තන්හා දෘෂ්ටීන් ඇසුරු නොකෙළෙක් වන්නේය. යහපත් සිත් ඇතියෙක්ද වන්නේය.”