11. 3. 5.
5. අක්කොධ සූත්‍රය
271. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක. එසමයෙහි වනාහි භික්‍ෂූන් දෙදෙනෙක් කලහ කළහ -පෙ-.
(එවිට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:) මහණෙනි, පෙරවූ දැයෙක් කියමි. ශක්‍රදේවේන්‍ද්‍රතෙම සුධර්‍මා සභායෙහි තව්තිසා වැසි දෙවියන් සතුටුකරන්නේ ඒ වේලායෙහි මේ ගාථාව කීය:
“ක්‍රෝධය තෙම තොප නොමඩීවා. කිපෙන්නන් කෙරෙහි ක්‍රෝධ නොකිරීම හා අවිහිංසාව ආර්‍ය්‍යයන් කෙරෙහි හැම කල්හිම පවතී. තවද ක්‍රෝධය තෙම පර්‍වතයක් මෙන් පාපී ජනයා සම්පූර්‍ණයෙන් මඩී.”
සක්කපඤචකයයි.
එහි උද්දානය:
ඣත්වා, දුබ්බණ්ණිය, මායා, අච්චය සහ අක්කොධ (යන සූත්‍ර පසෙකි). බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ විසින් දේශනා කරන ලද මේ වනාහි සක්කපඤ්චකයයි.
සක්ක සංයුක්තය නිමියේය.
දේවතා, දේවපුත්ත ද, රාජ, මාර සහ භික්ඛුනී ද, බ්‍රහ්ම, බ්‍රාහ්මණ, වංගීස, වන, යක්ඛ සහ වාසව (සක්ක) දැයි (එකොළොස් සංයුක්තයෝ වෙත්).
සගාථ වර්ගය නිමියේය.