10. 1. 3.
3. සුචිලෝම සූත්‍රය
237. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ ගයාවට නුදුරෙහි සුචිලෝම යක්‍ෂයාගේ භවනයෙහි ටඞ්කිතමඤ්චකයෙහි වැඩවසන සේක. එකල වනාහි ඛර යක්‍ෂයාද, සුචිලෝම යක්‍ෂයාද භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට නුදුරෙහි ගමන් කෙරත්.
ඉක්බිති ඛර යක්‍ෂතෙම සුචිලෝම යක්‍ෂයාට මෙය කීය: “මේ තෙම ශ්‍රමණයෙකි.”
“මේ තෙම ශ්‍රමණයෙක් නොවේ. භයින් පලායන ශ්‍රමණ ප්‍රතිරූපකයෙකි. මේ තෙම ශ්‍රමණයෙක්ද, ශ්‍රමණ ප්‍රතිරූපකයෙක්දැයි සොයා බලන්නෙමි.” ඉක්බිති සුචිලෝම යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට කය එළවිය, (ඒ දෙසට කය නැමීය.)
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ස්වකීය සිරුර ඉවත් කළ සේක.
සුචිලෝම යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේගෙන් “ශ්‍රමණය, මට බිය වෙහිදැ” යි ඇසීය.
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඇවැත්නි, මම තට බිය නම් නොවෙමි. එසේ වුව තාගේ ස්පර්‍ශය නපුරැ” යි (වදාළ සේක.)
[සූචිලෝම:]
“මහණ, තාගෙන් ප්‍රශ්නයක් අසන්නෙමි. ඉදින් මහණ, මට ඒ නොවිසඳන්නෙහි නම්, තාගේ සිත හෝ කලබල කරන්නෙමි. තාගේ හෘදය හෝ පළා දමන්නෙමි. තා පාදයෙන් හෝ ගෙන ගඟින් එතෙර දමන්නෙමි” යි (කීය.)
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඇවැත්නි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ්‍රමණබ්‍රාහ්මණයින් සහිත, දෙවිමිනිසුන් සහිත, ලෝකයෙහි යමෙක් මාගේ සිත හෝ කලබල කරන්නේද, හෘදය හෝ පළන්නේද, පාදයෙන් හෝ ගෙන ගඟෙන් එතර හෝ දමන්නේද එවැන්නකු මම නොදකිමි. එසේද වුව ඇවැත්නි, තෝ යමක් කැමැත්තෙහි නම් එය අසව.”
ඉක්බිති සුචිලෝම යක්‍ෂතෙම භාග්‍යවතුන් වහන්සේට ගාථායෙන් (මෙසේ) කීය:
“රාගයත් ද්වේෂයත් කුමක් මුල් (හේතු) කොට ඇත්තෝද? නොකැමැත්ත හා ඇල්මද, තැතිගැන්මද කිමෙකින් උපන්නෝද? දරුවෝ කවුඩකු අල්වා යම්සේ දමත්ද, (එසේම) කාම විතර්කයෝ කොතැනින් ඉපිද (කුසල්) සිත ඒ මේ අත එළවත්ද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“රාගයද, ද්වේෂයද, මේ (ආත්මභාවය) මුල් (හේතු) කොට ඇත්තෝ වෙත්. නොකැමැත්තද, ඇල්මද, තැති ගැන්මද, මෙයින් (මේ ආත්මභාවයෙන්ම) උපන්නෝය. යම්සේ දරුවෝ (තමන් බැඳගත්) කවුඩා ඒ මේ අත ගසා දමත්ද, එමෙන්ම (කාමාදී) පාපවිතර්කයෝ මෙයින් (මේ ආත්මභාවයෙන්) ඉපිද (කුසල් සිත) ඒ මේ අත ගසා දමත්.
“ආත්මභාවයෙන් හටගත් (විතර්‍කයෝ) තණ්හාව නිසා උපන්නෝය. නුගරුක් කඳින් උපන් නුග අරළු මෙනි. අනේකප්‍රකාර පවිටු විතර්‍කයෝ කාමවස්තූන්හි ඇලී සිටිත්. වනයෙහි මාලුවා වැලක් ගැවසී ගත්තාක් මෙනි.
“යක්‍ෂය, මේ අසව, යම් කෙනෙක් ඒ විතර්‍කයන්ගේ නිදානය කොතැන්හිදැයි දනිත්ද, ඔවුහු ඒ වනසත්. ඔහු ඉතා දුෂ්කරවූ, තරණය නොකළ (කාමාදී) සිවු සැඩ පහර නැවත නොඉපදීම පිණිස තරණය කරත්.”
10. 1. 4.
4. මණිභද්ද සූත්‍රය
238. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි මණිමාලක චෛත්‍යයෙහි මණිභද්ද නම් යකුගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති මණිභද්ද යක්තෙම භාග්‍යවතුන් වහන්සේයම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භගවත්හු හමුයෙහි මේ ගාථාව කීය:
“සිහි ඇත්තාට හැම කල්හි යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැමසඳ ශ්‍රේෂ්ඨත්වය ලැබෙයි, (හෙතෙම) වෛරයෙන් මිදේ.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“සිහි ඇත්තාට හැම සඳ යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැම සඳ ශ්‍රේෂඨත්‍වය ලැබෙයි. (එහෙත් හෙතෙම) වෛරයෙන් නොමිදේ.
“යක්‍ෂය, යමෙකුගේ සිත මුළු රෑ දාවල් දෙක්හිම අහිංසායෙහි ඇලුනේද, හෙතෙම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රිය (වඩා)ද ඔහට කිසි කෙනෙකු හා වෛරයක් නැත්තේය.”
10. 1. 5.
5. සානු සූත්‍රය
239. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා උපාසිකාවකගේ සානු නම් පුතෙක් යක්‍ෂයකු විසින් ගන්නා ලද්දේය. ඉක්බිති ඒ උපාසිකාව හඬන්නී ඒ වේලායෙහි මේ ගාථාවන් කීවාය:
“තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අඩමසක් සම්බන්ධිවූ යම් අටවකකුත් වේද ඒ අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහිද, යම් කෙනෙක් පොහොදා රැක්ක යුතු සිල් රකීද බඹසර රකිත්ද,