10. 1. 4.
4. මණිභද්ද සූත්‍රය
238. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි මණිමාලක චෛත්‍යයෙහි මණිභද්ද නම් යකුගේ භවනයෙහි වැඩවසන සේක. ඉක්බිති මණිභද්ද යක්තෙම භාග්‍යවතුන් වහන්සේයම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භගවත්හු හමුයෙහි මේ ගාථාව කීය:
“සිහි ඇත්තාට හැම කල්හි යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැමසඳ ශ්‍රේෂ්ඨත්වය ලැබෙයි, (හෙතෙම) වෛරයෙන් මිදේ.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“සිහි ඇත්තාට හැම සඳ යහපත වෙයි. සිහි ඇත්තේ සුවය ලබයි. සිහි ඇත්තහුට හැම සඳ ශ්‍රේෂඨත්‍වය ලැබෙයි. (එහෙත් හෙතෙම) වෛරයෙන් නොමිදේ.
“යක්‍ෂය, යමෙකුගේ සිත මුළු රෑ දාවල් දෙක්හිම අහිංසායෙහි ඇලුනේද, හෙතෙම සියලු සත්ත්‍වයන් කෙරෙහි මෛත්‍රිය (වඩා)ද ඔහට කිසි කෙනෙකු හා වෛරයක් නැත්තේය.”
10. 1. 5.
5. සානු සූත්‍රය
239. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා උපාසිකාවකගේ සානු නම් පුතෙක් යක්‍ෂයකු විසින් ගන්නා ලද්දේය. ඉක්බිති ඒ උපාසිකාව හඬන්නී ඒ වේලායෙහි මේ ගාථාවන් කීවාය:
“තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අඩමසක් සම්බන්ධිවූ යම් අටවකකුත් වේද ඒ අටවක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහිද, යම් කෙනෙක් පොහොදා රැක්ක යුතු සිල් රකීද බඹසර රකිත්ද,
“ඔවුන් හා (ඔවුන් අල්ලාගෙන) යක්‍ෂයෝ ක්‍රීඩා නොකරති යන රහතුන්ගේ බස් මා විසින් අසන ලද්දේය. (නමුත්) මම දැන් ඒ වග දකිමි. සානු සමග යක්‍ෂයෝ කෙළිත්.”
[යක්‍ෂයා:]
“තුදුස්වක්හි ද, පසළොස්වක්හි ද, අඩමසක් සම්බන්ධිවූ යම් අටවකකුත් වේද ඒ (අට)වක්හි ද, ප්‍රාතිහාර්‍ය්‍ය පක්‍ෂයෙහිද, යම් කෙනෙක් පොහොදා රැක්ක යුතු සිල් රකිත්ද බඹසර රකිත්ද,
“ඔවුන් හා යක්‍ෂයෝ නො කෙළිති යන රහතුන්ගේ බස් මනා කොට තා විසින් අසන ලද්දේය. සානු පිබිදී කල (මෙසේ) කියව: මේ යකුන්ගේ වචනයයි:-
‘ලාමක පව්කම් කිසිවකු හමුයෙහි හෝ රහසින් හෝ නොකරව. ඉදින් යම් පාප කර්‍මයක් (මතුවට) කරන්නෙහි ද, (දැන්) කෙරෙහි ද, තා අහසට පැනනැගී පලාගියත් තට (දුකින්) මිදීමෙක් නම් නැති.”
[සානු:]
“මෑණියෙනි, (මිනිස්සු) මළ එකකු නිසාම හෝ ජීවත්ව සිටියද දක්නට නැති එකකු නිසා හෝ හඬති. මෑණියනි, ජීවත්වන මා බලන්නී අම්මේ, මා ගැන කුමක් හෙයින් හඬනෙහි ද?”
[උපාසිකාව:]
“පුතේ මිනිස්සු මළ එකකු නිසා හෝ ජීවත්ව සිටියත් දක්නට නැති එකකු නිසා හෝ හඬති. යමෙක් නොයෙක් කාමයන් හැර (පැවිදිව) නැවත මෙහි (මේ ගිහිබවට) පැමිණෙ ද, ජීවත්වන්නාවූ හෙතෙම මළ එකෙක් ම වේ. පුතේ, එබන්දකු ගැනද (මිනිස්සු) හඬති.
“පුත, හුණු අළුයෙන් ගොඩට නගනලද තෝ හුණු අළුයෙහි නැවත වැටෙන්නට කැමැත්තෙහිද? පුත, නරකයෙන් ගොඩට නගන ලද්දාවූ තෝ ඒ නිරයෙහි නැවත හෙන්නට කැමැත්තෙහි ද?
“වහා දුවයව. තට යහපතක් වේවා’. අපි කවරෙකුට කෑගසා කියමු ද? ගිනිගත් ගෙයින් බැහැර කළ බඩු නැවත දවනු කැමැත්තෙහි ද?”
10. 1. 6.
6. පියඞ්කර සූත්‍රය
240. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක ආයුෂ්මත් අනුරුද්‍ධ ස්ථවිර තෙම සැවැත්නුවර සමීපයේවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වෙසෙයි. එකල වනාහි ආයුෂ්මත් අනුරුද්‍ධ තෙම අලුයම නැගිට ධර්‍මපද කියයි. ඉක්බිති පියඞ්කරමාතා නම් යකින්න තම පුතු මෙසේ නැලවූවා:
“පියඞ්කරය, ශබ්ද නොකර. භික්‍ෂුතෙම ධර්‍මපදයන් කියයි. ඉදින් ධර්‍මපදයක් දැනගෙන පිළිපදිමු නම් එය අපට හිත පිණිස වන්නේය.”
“ප්‍රාණීන්ට හිංසා නොකරමු. දැන දැන මුසාබස් නොකියමු. තමාතේ සුන්‍දර ශීලයෙහි හික්මෙමු. පිශාච (යක්‍ෂ) යෝනියෙන් මිදෙන්නෙමු නම් යෙහෙක.”
10. 1. 7.
7. පුනබ්බසු සූත්‍රය
241. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයේවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.