1. 8. 8.
කාම සූත්රය
[දෙවතාව:]
78. “වැඩ කැමැත්තේ කුමක් නොදන්නේද? කුමන් (අනුන්ගේ ප්රයෝජනයට) හැර නොදමන්නේද? යහපත්වූ කුමක් නම් මුදන්නේද? ලාමකවූ කුමක් නම් නොමුදන්නේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“කිසි පුරුෂයෙක් තමා (අන් හට දාස කොට) නොදෙන්නේය. (බෝසතුන් හැර අන්)කිසිවෙක් තමා (සිංහ ව්යාඝ්රාදීන්ට) හැර නොදමන්නේය. යහපත් වචන මුදා ලන්නේය. ලාමක වචන නොමුදා ලන්නේය.”
1. 8. 9.
පාථෙය්ය සූත්රය
[දෙවතාව:]
79. “කිමෙක් නම් මගට වුවමනා දේ බඳීද? භෝගයන් රැස් වන තැන නම් කිමෙක්ද? කිමෙක් නම් සත්ත්වයා ඒ මේ අතට අදීද? ලොව කිමෙක් නම් අපහසුවෙන් දුරලිය යුතුද? මලපුඩුවෙන් (බැඳුනු) කිරිල්ලක සෙයින් කිමෙක්හි බොහෝ සත්ත්වයෝ බැඳුනාහු වෙත්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ශ්රද්ධාව සසර මගට වුවමනාදේ බඳී. (සපයයි) ඓශ්චර්යය භෝග රැස්වන තැනය. ආසාව සත්ත්වයා ඒ මේ අතට අදී. ආසාව ලොව අපහසුවෙන් දුරලිය යුතු දෑය. මලපුඩුවෙන් (බැඳුණු) කිරිල්ලක සෙයින් බොහෝ සත්ත්වයෝ ආසායෙන් බැඳුණාහු වෙති.”
1. 8. 10.
පජ්ජොත සූත්රය
[දෙවතාව:]
80. “ලොව පහනක් වැනි වූයේ කිමෙක්ද? ලොව නොනිඳා සිටින්නා නම් කවරේද? කර්මයෙහි එක්ව ජීවත්වෙන්නා කවරේද? ජීවිකා වෘත්තිය නම් කිමෙක්ද?”
“මව පුතකු රක්නා සේ අලසයාත් අනලසයාත් කවරෙක් නම් රැකගනීද? යම් ප්රාණි කෙනෙක් පොළොව ඇසුරු කළාහු නම්, කුමක් උපකාර කොට ගෙන සත්ත්වයෝ ජීවත් වෙත්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ප්රඥාව ලොව පහනක් වැනිය. සිහිය ලොව නොනිඳා සිටින්නායි. කර්මාන්ත ආදියෙහි සහායව ජීවත් වන්නෝ ගවයෝයි. සීසෑම (ගොයිතැන) ජීවිකා වෘත්තියයි.
ධනය මව පුතකු රක්නාසේ අලසයාත් අනලසයාත් රකී. පොළොව ඇසුරු කළාවූ යම් සත්ත්වයෝ වෙත්ද ඔවුහු වැස්ස නිසා ජීවත් වෙත්.”
1. 8. 11.
අරණ සූත්රය
[දෙවතාව:]
81. “මෙලොව කවුරු නම් කෙලෙස් නැත්තේද? කවුරුන් වුසූ වාසය නොනැසේද? මෙහි කවුරු තණ්හාව පිරිසිඳ දනිත්ද? කාගේ නම් හැම කල්හිම නිදහස් බව වේද?
සිල්හි පිහිටි කවරකු මවත් පියාත් සොහොයුරාත් වඳිත්ද? මෙහි ජාතියෙන් පහත්වූ කාට නම් රජහු ආදරයෙන් නමස්කාර කෙරෙත්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
මහණහු මෙලොව කෙලෙස් නැත්තෝය. මහණුන් වුසූ (ආර්යමාර්ග) වාසය නොනැසේ. මහණහු (තණ්හාව) පිරිසිඳ දනිත්. හැම කල්හි මහණුන්ගේ නිදහස් බව වේ.
ශීලයෙහි පිහිටි මහණහුට මවත් පියාත් සොහොයුරාත් ආදරයෙන් නමස්කාර කෙරෙති. මෙහි ජාතියෙන් පහත්වූ නමුත් මහණහට රජහුද ආදරයෙන් නමස්කාර කෙරෙත්.”
අටවන ඣත්වා වර්ගයයි.
එහි උද්දානය:
ඣත්වා, රථ, චිත්ත, වුට්ඨි, භීත, නජීරති, ඉස්සර, කාම, පාථෙය්ය, පජ්ජොත සහ අරණ යැයි (සූත්රයෝ වෙති).
දෙවතා සංයුත්තය සමාප්තයි.