1. 7. 9.
ඉචඡා (හෙවත් ඉචඡාබද්ධ) සූත්‍රය
[දෙවතා:]
69. “ලෝ වැසි තෙම කිමෙකින් බැඳේද? කුමක් දුර ලීමෙන් මිදේද? කුමක් නම් විශේෂයෙන් පහ කිරීමෙන් සියලු බැමි සිඳේද? “
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලෝ වැසි තෙම ආශායෙන් බැඳේ. ආශාව දුරැලීමෙන් මිදේ. ආශාව විශේෂයෙන් පහකර දැමීමෙන් සියලු බැමි සිඳේ. “
1. 7. 10.
ලොක (හෙවත් ජස්සුලොක) සූත්‍රය
[දෙවතා:]
70. “කුමක් උපන් කල්හි ලෝ වැසි තෙම උපන්නේ නම් වේද? කිමෙක සඞගමය කෙරේද? ලෝ වැසි තෙම කුමක් ප්‍රත්‍යය කොට ගෙන කිමෙක පෙළේද (වෙහෙසේද)? “
[භාග්‍යවතුන් වහන්සේ:]
“(අධ්‍යාත්මික ආයතන) සය උපන් කල්හි ලොව උපන්නේ නම් වේ. (රූපාදී බාහිර ආයතන) සයෙහි සඞගමය කෙරෙයි. (අධ්‍යාත්මික ආයතන) සයම ප්‍රත්‍යය කොට ගෙන (බාහිර ආයතන) සයෙහි ලෝ වැසි තෙම පෙළෙයි (වෙහෙසෙයි) ”.
සත්වන අන්ව වර්‍ගයයි.
එහි උද්දානය:
නාම ද, චිත්ත ද, තණ්හා ද, සංයෝජන ද, බන්ධන ද, අබ්භාහත ද, උඩ්ඩිත ද, පිහිත ද, ඉච්ඡා ද, ලොක ද යන මේ දසයයි.
8. ඣත්‍වා වර්‍ගය
1. 8. 1.
ඣත්‍වා සූත්‍රය
71. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පලමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යමි තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“කුමක් නම් නසා සුවෙන් වෙසේද? කුමක් නම් නසා ශෝක නොකෙරේද? ගෞතමයන් වහන්ස, කවර නම් ධර්‍මයක්හුගේ නැසීම කැමැත්තහුද? “
[භාග්‍යවතුන් වහන්සේ:]
“ක්‍රෝධය නැසීමෙන් සුවසේ වෙසෙයි. ක්‍රෝධය නසා ලීමෙන් ශෝක නොකෙරේ. දෙවිය, මිහිරි වූ අක් ඇති, විෂ සහිත මුල් ඇති, ක්‍රෝධයාගේ වැනසීම ආර්‍ය්‍යයෝ පසසත්. එය නැසීමෙන් ශෝක නොකෙරේ. “
1. 8. 2.
රථ සූත්‍රය
[දෙවතාව:]
72. “රිය සලකුණ කිමෙක්ද? ගින්නට සලකුණ කිමෙක්ද? රටට සලකුණ කිමෙක්ද? භාර්‍ය්‍යාවට සලකුණ කිමෙක්ද? “
[භාග්‍යවතුන් වහන්සේ:]
“රථය දැනගන්නා සලකුණ කොඩියයි. ගින්න ඇති බවට ලකුණ දුමයි. රටට ලකුණ රජයයි. භාර්‍ය්‍යාව දැනගැනීමට ලකුණ සැමියායි. “
1. 8. 3.
විත්ත සූත්‍රය
[දෙවතාව:]
73. “මෙහි (මෙලොව) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනය නම් කිමෙක්ද? කුමක් නම් මනාව පුරුදු කරන ලද්දේ සුව ගෙන දේද? රස අතුරෙන් ඉතා මිහිරි රසය නම් කිමෙක්ද? කෙසේ නම් ජීවත් වන්නහුගේ ජීවිතය ශ්‍රෙෂඨයයි කියත්ද? “
[භාග්‍යවතුන් වහන්සේ:]
“මෙහි ශ්‍රද්ධාව (මෙලොව) පුරුෂයාගේ ශ්‍රෙෂඨ ධනයයි. හොඳින් පුරුදු කළ ධර්‍මය සැප ගෙන දෙයි. රස අතුරෙක් ඒකාන්තයෙන් ඉතා මිහිරි රසය නම් සත්‍ය රසයයි. ප්‍රඥායෙන් ජීවත්වන්නහුගේ ජීවිතය ශ්‍රේෂ්ඨයයි කියත්. “
1. 8. 4.
වුට්ඨි සූත්‍රය
[දෙවතාව:]
74. “නැගෙන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පහතට බසින්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? පයින් යන්නවුන්හට කිමෙක් නම් ශ්‍රේෂ්ඨද? කියන්නන්හට කිමෙක්නම් ශ්‍රේෂ්ඨද?”
[අනිත් දෙවතාව:]
“නැගෙන්නවුන් අතරින් බීජය ශ්‍රේෂ්ඨය. වැටෙන්නවුන් අතරින් වැස්ස ශ්‍රේෂ්ඨය. පයින් යන්නවුන් අතරින් ගවයෝ ශ්‍රේෂ්ඨ වෙති. කියන්නවුන් අතරින් පුත්‍රයා ශ්‍රේෂ්ඨය.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“නැගෙන්නවුන් අතුරෙන් ප්‍රඥාව ශ්‍රේෂ්ඨය. වැටෙන්නවුන් අතුරෙන් අවිද්‍යාව ප්‍රධානය. පයින් යන්නවුන් අතුරෙන් සඞඝයා ශ්‍රේෂ්ඨය. කියන්නවුන් අතුරෙන් බුදුරජ ශ්‍රේෂ්ඨය.”