1. 6. 9.
දෙවෙනි උපපථ සූත්‍රය
[දෙවියා:]
59. “පුරුෂයාට කිමෙක් නම් දෙවැන්නී (දුතියිකා) වේද? ඔහුට කවරෙක් නම් අනුශාසන කෙරේද? කුමක විශේෂයෙන් ඇලුණු සත්ත්‍වයා සියලු දුකින් මිදේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ශ්‍රද්‍ධාව පුරුෂයාට දෙවැන්නීය. ප්‍රඥාව ඔහුට අනුශාසනා කෙරේ. නිවනෙහි විශේෂයෙන් ඇලුණු සත්ත්‍වතෙම සැම දුකින් මිදේ.”
1. 6. 10.
කවි (හෙවත් ගාථා නිදාන) සූත්‍රය
[දෙවියා:]
60. “ගාථාවන්ගේ මුල කිමෙක්ද? ඔවුන්ගේ අර්‍ථ උපදවන්නේ කවරෙක්ද? ගාථාවෝ කුමක් ඇසුරුකොට පවත්නෝද? කිමෙක් ගාථාවන්ට ආධාර ස්ථානද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඡන්‍දය ගාථාවන්ගේ මුලය. අකුරු ඔවුන් උපදවන්නේය. ගාථාවෝ නාමයන් ඇසුරුකොට ඇත්තෝය. කවි තෙම (පණ්ඩිතයා) ගාථාවන්ට ස්ථානයයි.”
සවන ජරා වර්‍ගයයි.
එහි උද්දානය:
ජරා, අජරසා, මිත්ත, වත්ථු, ජනෙති සූත්‍ර තුන ද, උප්පථ, දුතිය සහ කවි සූත්‍රයෙන් ද මේ වර්ගය පිරුණේ ය.
7. අන්ව වර්‍ගය
1. 7. 1.
නාම (හෙවත් නාමද්ධභවන) සූත්‍රය
61. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි වූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබලන ශරීර වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය.
[දෙවතා:]
කිමෙක් නම් සියල්ල යටපත්කොට සිටියේද? කිමෙකින් වැඩි දැයෙක් නැද්ද? කිනම් එක් දැයකට සියල්ලම වසඟ වූවෝද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“නාමය සියල්ල යටපත්කොට ගෙන සිටියේය. නාමයට වැඩියෙන් දෙයෙක් නැත. නාම නමැති එකම දැයකට සියල්ලෝම වසඟ වූවාහු වෙත්.”
1. 7. 2.
චිතත සූත්‍රය
[දෙවතා:]
62. “කිමෙකින් ලෝ වැස්සා (අරමුණු දෙසට) පමුණුවනු ලැබේද? කිමෙකින් (ඒ මේ අතට) අදිනු ලැබේද? කවරනම් එකම දෙයක වසඟයට සියලු සත්ත්‍වයෝම ගියෝද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලෝවැසි තෙම සිතින් (අරමුණු දෙසට) පමුණුවනු ලැබේ. සිතින් (ඒ මේ අතට) අදනා ලැබේ. සියලු සත්හුම සිත නමැති එකම දෙයක වසඟයට ගියේය.”
1. 7. 3.
තණ්හා සූත්‍රය
[දෙවතා:]
63. “කිමෙකින් ලෝ වැස්සා අරමුණු අතට යැවේද? කිමෙකින් ඒ මේ අතට ඇදේද? කවරනම් එක් දෙයකට සියල්ලෝම වසඟ වූවෝද?’
[භාග්‍යවතුන් වහන්සේ:]
“ලෝ වැසි තෙම තණ්හායෙන් අරමුණු අතට යැවේ. තණ්හායෙන් ඒ මේ අතට ඇදේ. තණ්හා නම් එකම ධර්‍මයට සියල්ලෝම වසඟ වූවෝ වෙත්.”
1. 7. 4.
සංයෝජන සූත්‍රය
[දෙවතා:]
64. “ලොව කුමක් බැඳුම් කොට ඇත්තේද? එහි ඇවිදින පාදයෝ කවරහුද? කුමක් නම් වෙසෙසින් පහ කිරීමෙන් නිවන වේයයි කියනු ලැබේද?’