1. 6. 6.
දෙවෙනි ජන (හෙවත් ජනෙති) සූත්රය
[දෙවියා:]
56. “කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දුවයිද? කිමෙක් නම් සසර වැදුනේද? ඔහු නොමිදෙනුයේ කුමකින්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඒ මේ අත දිවෙයි. සත්ත්වයා සසර වැදුණේය. ඔහු (නසි මග යන තෙක්ම) නොමිදෙනුයේ දුකිනි.”
1. 6. 7.
තුන්වෙනි ජන (හෙවත් ජනෙති) සූත්රය
[දෙවියා:]
57. “කිමෙක් නම් සත්ත්වයා උපදවාද? ඔහු පිළිබඳ කිමෙක් නම් ඈත මෑත දිවේද? කිමෙක් නම් සසර වැදුනේද? කිමෙක් නම් ඔහුගේ ඉපදීමට පිහිට වේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“තණ්හාව සත්ත්වයා උපදවයි. ඔහුගේ සිත ඈත මෑත දිවෙයි. සත්ත්වයා සසරට වැදුණේය. කර්මය ඔහුට පිහිටය.”
1. 6. 8.
උපපථ සූත්රය
[දෙවියා:]
58. “කිමෙක් නම් නොමඟයයි කියන ලදද? කිමෙක් නම් රෑ දාවල්හි ගෙවේද? බ්රහ්මචර්ය්යාවට කිලුට කිමෙක්ද? දිය නොමැති නෑම කිමෙක්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“රාගය නොමග යයි කියන ලදී. දිවා රෑ දෙක්හිම ගෙවෙන්නේ වයසය. බ්රහ්මචර්ය්යාවට කිලුට ස්ත්රියයි. (මේ සත්ත්ව සමූහයා මෙහි ඇලේ) තපසත් බඹසරත් යන යමෙක් ඇද්ද, එය දිය නැති නෑමයි. “
1. 6. 9.
දෙවෙනි උපපථ සූත්රය
[දෙවියා:]
59. “පුරුෂයාට කිමෙක් නම් දෙවැන්නී (දුතියිකා) වේද? ඔහුට කවරෙක් නම් අනුශාසන කෙරේද? කුමක විශේෂයෙන් ඇලුණු සත්ත්වයා සියලු දුකින් මිදේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ශ්රද්ධාව පුරුෂයාට දෙවැන්නීය. ප්රඥාව ඔහුට අනුශාසනා කෙරේ. නිවනෙහි විශේෂයෙන් ඇලුණු සත්ත්වතෙම සැම දුකින් මිදේ.”
1. 6. 10.
කවි (හෙවත් ගාථා නිදාන) සූත්රය
[දෙවියා:]
60. “ගාථාවන්ගේ මුල කිමෙක්ද? ඔවුන්ගේ අර්ථ උපදවන්නේ කවරෙක්ද? ගාථාවෝ කුමක් ඇසුරුකොට පවත්නෝද? කිමෙක් ගාථාවන්ට ආධාර ස්ථානද?”
[භාග්යවතුන් වහන්සේ:]
“ඡන්දය ගාථාවන්ගේ මුලය. අකුරු ඔවුන් උපදවන්නේය. ගාථාවෝ නාමයන් ඇසුරුකොට ඇත්තෝය. කවි තෙම (පණ්ඩිතයා) ගාථාවන්ට ස්ථානයයි.”
සවන ජරා වර්ගයයි.
එහි උද්දානය:
ජරා, අජරසා, මිත්ත, වත්ථු, ජනෙති සූත්ර තුන ද, උප්පථ, දුතිය සහ කවි සූත්රයෙන් ද මේ වර්ගය පිරුණේ ය.