1. 5. 6.
අච්ඡරා සූත්‍රය
[දෙවතා:]
46. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණ්න් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“දිව්‍ය ස්ත්‍රී සමූහයාගේ ඝෝෂා සහිතවූ, දිව්‍ය ස්ත්‍රී නමැති පිශාච සමූහයා විසින් සේවනය කරනලද, ඒ උයන මෝහන නම්. මෙයින් නික්මීම කෙසේනම් වන්නේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඒ මාර්‍ගය, ඎජු මාර්‍ගයකි. එයින් යන ඒ දිශාව (භය නැති) දිශාවකි. ධර්‍ම චක්‍ර දෙකින් යුත් ඒ රථය (බර වැඩි වීමෙන් හෝ තෙල් නොදැමීමෙන් හෝ) හඬ නොනගන්නේ වෙයි.
“හිරි ඔතප් දෙක (හේත්තුවන) පුවරුවය. සිහිය එහි පිරිවර උපකරණය. ධර්‍මය රියැදුරායයි මම කියමි. විදර්‍ශනා සම්‍යග්දෘෂ්ඨිය (රජු යන රථයට පෙරටුව යන පුරුෂයා මෙන් මාර්‍ග සම්‍යක්දෘෂ්ඨියට) පෙරටුව යන්නාහ.
“ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ යමකුහට මෙබඳු රථයක් වේ නම්, ඒකාන්තයෙන් හෙතෙම ඒ රථයෙන් නිවන් වෙතම යෙයි.”
1. 5. 7.
වනරොප සූත්‍රය
[දෙවතා:]
47. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“දහවලුත් රෑත් හැමවිටම කවුරුන්ගේ පින් වැඩේද? සුගතියට යන ධර්‍මස්ථයෝ (ධර්‍මයෙහි පිහිටියෝ) නම් කවුරුද? සිල්වත්තු නම් කවුරුද?
[භාග්‍යවතුන් වහන්සේ:]
“යම් ජනයෝ මල් වතු පලතුරු වතු (ආරාමයන්) වවන්නෝද, වන ලැහැබ් වවන්නෝද, හේදඬු පාලම් ආදිය කරවන්නෝද, යම් කෙනෙක් පැන්හලුත් වැව් පොකුණුත් කරවන්නෝද, වාසස්ථාන දෙන්නෝද,
“දිවා රෑ හැම විටම ඔවුන්ගේ පින් වැඩේ. මරණින් පසු ස්වර්‍ගයට යන, දහම්හි පිහිටි සිල්වත්තුත් ඒ ජනයෝයි.”
1. 5. 8.
ජේතවන සූත්‍රය
[දෙවතා:]
48. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු ‘අනාථපිණ්ඩික දෙව්පුත්’ බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි අනාථපිණ්ඩික දෙව්පුත් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“භික්‍ෂු සමූහයා විසින් නිතර සෙවුනා ලද, ධර්මරාජයානන් වහන්සේ විසින් වාසය කරන ලද මේ ජේතවනය වනාහි මට ප්‍රීතිය උපදවන්නේය.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“කර්‍මයද (මාර්‍ග චේතනාවද), විද්‍යාවද (මාර්‍ග ප්‍රඥාවද), (සමාධිපාක්‍ෂික) ධර්‍මයද, ශීල සම්පන්න උතුම් ජීවිතයද, යන මෙයින් සත්ත්‍වයෝ ශුද්‍ධවෙත්. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් ශුද්‍ධනොවෙත්.”
“එබැවින්ම තමාගේ දියුණුව දක්නා නුවණ ඇති පුරුෂ තෙම නිසි මගින් ධර්‍ම සෙවිය යුතු. මෙසේ ඒ ආර්‍ය්‍ය මාර්‍ගයෙහි හෙතෙම පිරිසිදු වෙයි.”
“ප්‍රඥායෙන්ද, ශීලයෙන්ද, කෙලෙස් සංසිඳුවීමෙන්ද, ශාරීපුත්‍රයන් වහන්සේම උතුම්හ. පරතෙර පැමිණි යම් භික්‍ෂුවෙක් වේ නම් හේ මේ සැරියුත් තෙරුන් පරම කොට ඇත්තේම වන්නේය.”
1. 5. 9.
මච්ඡරි සූත්‍රය
[දෙවතා:]
49. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක.එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය, එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“දැඩි මසුරුකම් ඇති, ක්‍රොධ කරන, අනුන් දන්දෙන කල්හි එයට අන්තරාය කරන, යම් මසුරු කෙනෙක් මෙලොව වෙත් නම්, ඔවුන්ට විපාකය
කෙබඳුද? ඔවුන්ගේ පරලොව ගතියත් කෙසේද? ඔබ වහන්සේගෙන් මෙය විචාරා දැනගන්නට අවුත් සිටුම්හ. එය අපි කෙසේ දැන ගනුමෝද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“දැඩි මසුරුවූ, සිඟන්නනට නින්‍දා කරන, දන් දෙන අන්‍යයන්ගේ ඒ දානයට අන්තරාය කරන, යම් මසුරු කෙනෙක් මෙලොව වෙත්ද, ඔවුහු