1. 5. 1.
ආදිත්ත සූත්‍රය
41. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථා කීය.
“ගෙයක් ගිනිගත් කල යම් භාජනයක් එයින් පිටතට ගනියිද, එය ඔහුට වැඩ පිණිස වේ. යමක් එහි දැවේ නම් එය වැඩ පිණිස නොවේ.
“එසේම ලොව ජරායෙනුත් මරණයෙනුත් ඇවිලගත්තේ වේ. දීමෙන්ම පිටතට ගතයුතු. දෙනලද දේ මැනවින් පිටත්කරන ලද්දේ නම්වේ.
“දුන් දේ සැප විපාක ඇතිකරන්නේ වේ. නොදුන් දේ එසේ සැප විපාක නොදේ. එය සොරු හැරගෙන යත්. රජහු හෝ හැර ගනිත්. ගින්න හෝ දවයි. නැසී හෝ යන්නේය.
“තවද, වස්තු සහිත ශරීරය මරණයෙන් හැර දමයි. නුවණැත්තේ මෙය දැන තම වස්තුව ප්‍රයෝජනයට ගැනීමද කරන්නේය. දීමද කරන්නේය. එසේ ශක්ති පරිදි සම්පත් අනුභවයද කොට, දීමද කොට, නින්‍දා නොලබන්නෙක්ව දිව්‍ය ලෝකයට (සැප ඇති තැනට) පැමිණෙයි.”
1. 5. 2.
කිංදද සූත්‍රය
[දෙවතා:]
42. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුඵ ජේතවනය බබුඵවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“කුමක් දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ පැහැය දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ සැප දෙන්නේ වේද? කුමක් දෙන තැනැත්තේ ඇස් දෙන්නේ වේද? සියල්ල දෙන තැනැත්තෙක් වේ නම් කවරෙක්ද? මවිසින් විචාරණ ලද ඔබ මට (මේ) කියාදෙනු මැනවි.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ආහාර දෙන තැනැත්තේ ශක්තිය දෙන්නේ වේ. වස්ත්‍ර දෙන්නා වර්‍ණය දෙන තැනැත්තේ වේ. යාන වාහන දෙන තැනැත්තේ සැප පහසු දෙන තැනැත්තේ වේ. එලිය දෙන තැනැත්තේ ඇස් දෙන තැනැත්තේ වේ. යමෙක් වාසස්ථාන දේ නම් ඔහුම සියල්ල දෙන තැනැත්තා නම් වේ. යමෙක් ධර්‍මනුශාසනා කෙරේ නම් ඔහු අමෘත දානය දෙන තැනැත්තේ නම් වේ.”
1. 5. 3.
අන්න සූත්‍රය
[දෙවතා:]
43. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්මගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එක්පසෙක උන්නේය. එක්පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“දෙවියෝත් මිනිස්සුත් යන දෙකොටස ආහාර පතත්මය. එසේවූ කල කවර නම් සත්‍වයෙක් ආහාරයට සතුටු නොවේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“යම් කෙනෙක් සර්‍ධායෙන්, වෙසෙසින් පහන්වූ සිතින්, (ආහාර) දෙත්ද, ඒ දානයාගේ විපාකයම මෙලොවත් පරලොවත් ඔහු අනුව යෙයි.
“එබැවින් මසුරු බව දුරලිය යුතු. මසුරුමළ දුරලා දන් දෙන්නේය. දන් දිය යුතු සත්ත්‍වයන්ට පරලොවදී පුණ්‍යයෝ පිහිට වෙත්”
1. 5. 4.
එකමූල සූත්‍රය
[දෙවතා:]
44. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය කල්හි එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“එක් මුලක් (තණ්හාව) ඇති, දියසුළි (දෘෂ්ටි) දෙකක් ඇති, මල (රාග, ද්වේෂ, මොහ) තුනක්, ශාස්වත උච්ඡේද ඇති, පැතිරීම් (කාම වස්තු) පසක් ඇති, ආවර්‍ත (අධ්‍යාත්මික බාහිර ආයතන) දොළොසක්ද ඇති, පතුළක් නැති සමුද්‍රය (බුද්ධ) මහ ඉර්ෂිතෙම එතර කෙළේය.”
1. 5. 5.
අනොම සූත්‍රය
[දෙවතා:]
45. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවනලද ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි රෑ පෙර යම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක් පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“සම්පූර්‍ණ නම් ඇති, සියුම් අර්‍ථ දක්නාවූ (අන්‍යයන්ටද) ප්‍රඥාව දෙන්නාවූ, කාම වස්තූන්හි නොඇලුණු, සියල්ල දන්නා, මනා නුවණ ඇති, ආර්‍ය්‍ය මාර්‍ගයෙහි ගිය ඒ (බුද්‍ධ) මහා ඉර්ෂිහු බලවු.”
1. 5. 6.
අච්ඡරා සූත්‍රය
[දෙවතා:]
46. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ ජේතවනයෙහි අනේපිඬු සිටාණ්න් විසින් කරවනලද ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි රෑ පෙරයම ඉක්ම ගිය පසු එක් දෙවියෙක් බබළන වර්‍ණ ඇත්තේ මුළු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක උන්නේය. එක් පසෙක සිටි ඒ දෙවියා භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි මේ ගාථාව කීය:
“දිව්‍ය ස්ත්‍රී සමූහයාගේ ඝෝෂා සහිතවූ, දිව්‍ය ස්ත්‍රී නමැති පිශාච සමූහයා විසින් සේවනය කරනලද, ඒ උයන මෝහන නම්. මෙයින් නික්මීම කෙසේනම් වන්නේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඒ මාර්‍ගය, ඎජු මාර්‍ගයකි. එයින් යන ඒ දිශාව (භය නැති) දිශාවකි. ධර්‍ම චක්‍ර දෙකින් යුත් ඒ රථය (බර වැඩි වීමෙන් හෝ තෙල් නොදැමීමෙන් හෝ) හඬ නොනගන්නේ වෙයි.
“හිරි ඔතප් දෙක (හේත්තුවන) පුවරුවය. සිහිය එහි පිරිවර උපකරණය. ධර්‍මය රියැදුරායයි මම කියමි. විදර්‍ශනා සම්‍යග්දෘෂ්ඨිය (රජු යන රථයට පෙරටුව යන පුරුෂයා මෙන් මාර්‍ග සම්‍යක්දෘෂ්ඨියට) පෙරටුව යන්නාහ.
“ස්ත්‍රියකට හෝ පුරුෂයකුට හෝ යමකුහට මෙබඳු රථයක් වේ නම්, ඒකාන්තයෙන් හෙතෙම ඒ රථයෙන් නිවන් වෙතම යෙයි.”