1. 4. 6.
ශ්රද්ධා සූත්රය.
36. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි බොහෝ සතුල්ලපකායික දෙවියෝ රෑ පෙරයම ඉක්මුණු පසු බබළන ශරීර ප.්රභායෙන් සියලු ජේතවනය බබුඵවා භාග්යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එක් පසෙක සිටියහ. එක් පසෙක සිටි එක් දෙවියෙක් භාග්යවතුන් වශන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ලෞකික ලෝකෝත්තර සැප කරා යන පුරුෂයාට ශ්රද්ධාව ඔහු සමග යන දෙවැන්නා වෙයි ඔහු අශ්රද්ධායෙහි බැස නොසිටී නම් ඒ හේතුයෙන් ඔහුට පිරිවරද, කීර්තියද වෙයි. මේ ශරීරය හැර ඔහු ස්වර්ගයටද යෙයි.”
එකල අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාවන් කීය:
“ක්රෝධය නසන්නේ නම්, මානය දුරු කරන්නේ නම්, සියලු සංයෝජන ඉක්මවා ලන්නේ නම්, නාම රූප දෙක්හි නොඇලෙන, හිරිහැර නැති, ඒ පුද්ගලයා කරා සංයෝගයෝ (බැමි) නොපැමිණෙත්.”
“(එවිට භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළහ.) අනුවණ මෝඩ ජනයෝ ප්රමාදයෙහි යෙදෙත්. නුවණැත්තේ අප්රමාදය ශ්රේෂ්ඨ ධනයක් මෙන් රකී.”
“ප්රමාදයෙහි නොයෙදෙවු: කාමරතිය හා එක්වීමෙහි නොයෙදෙවු. ධ්යාන වඩන, නොපමා තැනැත්තාම පරම සැපයට පැමිණේ.”
1. 4. 7.
සමය සූත්රය.
37. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සියල්ලන්ම රහතුන්වූ, භික්ෂූන් පන්සියයක් පමණවූ මහද් ඝික්ෂු සමූහයා හා ශාක්ය රටෙහි කපිලවස්තු නගරය සමීපයේ මහා වනයෙහි වාසය කරන සේක. භාග්යවතුන් වහන්සේත්, භික්ෂු සංඝයාත් දැකීම පිණිස දසදහසක් සක්වළින් දෙවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහුය.
එකල්හි වනාහි ශුද්ධාවාස බ්රහ්මලෝකවාසී දෙවියන් සතරදෙනෙකුන්ට මේ සිත විය. “මේ භාග්යවතුන් වහන්සේ වනාහි සියල්ලන්ම රහතුන්වූ භික්ෂූන් පන්සියයක් පමණවූ මහද් භික්ෂු සමූහයා හා සමගව ශාක්ය රටෙහි කිඹුල්වත් පුර සමීපයෙහිවූ මහ වනයෙහි වාසය කරන සේක. භාග්යවතුන් වහන්සේත් භික්ෂු සංඝයාත් දැකීම පිණිස දසසහස්ර ලෝක ධාතුවෙහි දේවතාවෝ බොහෝ සෙයින් රැස් වූවාහු වෙත්. අපිත් භාග්යවතුන් වහන්සේ කරා පැමිණෙන්නමෝ නම්, පැමිණ, භාග්යවතුන් වහන්සේ සමීපයෙහි වෙන වෙනම ගාථාවක් (බැගින්) කියන්නමෝ නම් ඉතා යෙහෙක.”
ඉක්බිති ඒ දෙවතාවෝ ශක්තිමත් පුරුෂයෙක් යම්සේ හැකුඵෑ අතක් දික් කරන්නේද, දික් කළ අතක් හකුළන්නේද, එමෙන්ම ශුද්ධාවාස බ්රහ්ම ලෝකයෙහි අතුරුදහන් වූවාහු, භාග්යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළවූහු.
ඉක්බිති ඒ දේවතාවෝ භාග්යවතුන් වහන්සේ වැඳ, පසෙක සිටියහ. පසෙක සිටිඑක් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“වනයෙහි මහා සමූහයෙකි. දේව සමූහයෝ එක් රැස් වූවාහ. අපිදු කිසිවකු විසිනුදු පැරදවිය නොහෙන, සංඝයා දැකීම සඳහා මේ ධර්ම සමාගමයට ආවෙමු.”
එවිට අන් දෙවියෙක් භග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ඒ ධර්ම සමාගමයෙහි භික්ෂූහු තමන් සිත් සමාධියෙහි යෙදූහ. ඎජු කළහ. යොත් අල්ලාගෙන ඉන්නා රියැදුරන් මෙන් නුවණ ඇත්තෝ ඉන්ද්රියයන් රකිත්”
එවිට අන් දෙවියෙක් භග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“පසැස් ඇති ශාස්තෘාන් වහන්සේ විසින් මනාකොට හික්මවනලද, තරුණ ඇතුන් බඳුවූ, (රාග, ද්වේෂ, මෝහ නමැති) කණුව සිඳ, (රාග, ද්වේෂ, මෝහ නමැති) අගුල සිඳ, (රාග, ද්වේෂ, මෝහ නමැති) එළිපත උදුරා, තණ්හා කම්පන රහිත වූවාහු, උප ක්ලේශ නැත්තෝව, නිර්මලව හැසිරෙත්.”
එවිට අන් දෙවියෙක් භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම් කෙනෙක් බුදුන් සරණ ගියෝ නම්, ඔවුහු අපාය භූමියට නොයන්නාහ, ඔවුහු මිනිසත් බව හැර දෙව් පිරිස පුරාලන්නාහ.”
1. 4. 8.
සකලික සූත්රය.
38. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි මද්දකුච්ඡි නම් මුව වෙනෙහි වැඩවසන සේක.
එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේගේ පාදයෙහි ගල් පතුරක් වැදුනේය. (එයින්) භාග්යවතුන් වහන්සේට දුක්වූ, දැඩිවූ, රළුවූ, කටුකවූ, අමිහිරිවූ, අමනාපවූ, බලවත් කායික දුක් වේදනාවෝ උපන්හ. භාග්යවතුන් වහන්සේ වනාහි එළඹ සිටි සිහි ඇතිසේක්, නුවණ ඇති සේක්, එහෙයින් නොපෙළෙන්නාහු ඒ වේදනාවන් ඉවසන සේක.
එකළ භාග්යවතුන් වහන්සේ සඟළ සිවුර සතර පටක් කොට පණවාගෙන දකුණු පය පිට වම් පය මඳක් ඉක්මවා තබා සිහිනුවණැතිව දකුණු ඇලයෙන් (සිංහයෙකුගේ නිදීමට බඳු) ශයනය කළ සේක.