1. 2. 6.
6. නිද්දාතන්දි සූත්රය
16. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකළ වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
[දෙවතාව:]
“නින්ද, මැලිබව, බඩගිනි හෝ සීත ආදිය නිසා ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ උපක්ලේශ නිසා මෙහි සත්ත්වයන්ට ආර්ය්ය මාර්ගය නොපැනේ.”
[භාග්යවතුන් වහන්සේ:]
“නින්ද, මැලිබව, ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ දේ වීර්ය්යයෙන් පලවා හැරීමෙන් ආර්ය්යමාර්ගය පිරිසිදුවේ.”
1. 2. 7.
7. දුක්කර (කුම්ම) සූත්රය
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම බෘග්යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
[දෙවතාව:]
“බාලයා විසින් මහණදම් කළ නොහැක්ක, ඉවසිය නොහැක්ක. යම් ඒ මහණදමෙක්හි අව්යක්තයා පසුබසීද, එහිලා ඔහුට සම්බාධකයෝ බොහෝ වෙත්.”
(භාග්යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“ඉදින් සිත නොවළක්වන්නේ නම්, ඔහු කී දිනක් මහණකම් කරන්නේද? ඔහු පාප විතර්කයන්ට වසඟවූයේ අරමුණක් පාසා පසුබස්නේය.”
“අවයවයන් සිය කබලතුළ බහා ගන්නා ඉදිබුවාසේ මහණතෙම සිතේ උපන් විතර්කයන් භාවනාලම්බන නමැති කබලෙහි එක්කොට බහාලන්නේ, තෘෂ්ණාදෘෂ්ටි ආදීන්ගේ ආශ්රයෙන් තොරවූයේ, අනුන් නොවෙහෙසන්නේ: කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ කිසිවෙකුටත් නින්දා නොකරන්නේය.”
1. 2. 8.
8. හිරි සූත්රය
18. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය, පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
[දෙවතාව:]
“ආජානීය අශ්වයා කසය තමා මත හෙනු නොදී වළක්වන්නා සේ යමෙක් තමහට නින්දා ඇතිවනු නොදී වළක්වාද, එසේවූ ලජ්ජා හේතුයෙන් පව් දුර ලා සිටින කිසි පුරුෂයෙක් ලොවැ ඇත්තේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“යම් කෙනෙක් ලජ්ජායෙන් පව් නොකොට ඉන් වැළැක හැම කල්හි සිහි ඇතිව හැසිරෙත්ද, දුක් කෙළවරට පැමිණ, විෂමවූ ලොව සමව හැසිරෙත්ද, එසේවූ පුද්ගලයෝ ස්වල්ප දෙනෙක් ඇත්තාහුය.”
1. 2. 9.
9. කුටිකා සූත්රය
19. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථා කීය:
[දෙවතාව:]
“ඔබට කුටියක් නැද්ද? ඔබට කූඩුවක් නැද්ද? ඔබට වැළක් නැද්ද? ඔබ බැම්මෙන් මිදුනේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“මට කුටියක් කිසිසේත් නැත. කිසි ලෙසිනුත් කූඩුවක් නැත. වැළකුත් කිසිසේත් නැත. ඒකාන්තයෙන් බැම්මෙන් මිදුනෙමි.”
[දෙවතාව:]
“මම් ඔබට කුමක් නම් කුටියෙකැයි කීයෙම්ද? කුමක් නම් ඔබට කූඩුවකැයි කීයෙම්ද? ඔබට කුමක්නම් වැළක් යයි කීයෙම්ද? කුමක්නම් ඔබට බැම්ම යයි කීයෙම්ද?”
[භාග්යවතුන් වහන්සේ:]
“මව කුටිය යයි කීයෙහිය. භාර්ය්යාව කූඩුව යයි කීයෙහිය. පුත්රයන් වැළයයි කීයෙහිය. තණ්හාව බැඳුම යයි මට කීයෙහිය.”
[දෙවතාව:]
“ඔබට කුටියක් නැතියේ යහපත. කූඩුවකුත් නැතියේ යහපත. වැලුත් නැතියේ යහපත. බන්ධනයන්ගෙන් මිදුනුසේ යහපත.”