1. 2. 3.
3. නත්‍ථිපුත්තසම සූත්‍රය
13. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“පුත්‍ර ප්‍රේමය බඳු අන් ප්‍රේමයක් නැත. ගවසම්පත වැනි වෙන සම්පතෙක් නැත. හිරුට සමවූ වෙන එළියෙක් නැත. මුහුද බඳුවූ අන් විලක් නැත.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“තමා කෙරෙහි ප්‍රේමය බඳු ප්‍රේමයක් වෙන නැත. ධාන්‍ය හා සමාන ධනයෙක් නැත. ප්‍රඥාව හා සමාන ආලෝකයෙක් නැත. වැස්ස හා සමාන විලක් නැත.”
1. 2. 4.
4. ඛත්තිය සූත්‍රය
14. මා විසිත් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“දෙපා ඇතියන්ගෙන් ක්‍ෂත්‍රියයා ශ්‍රේෂඨය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්‍රේෂ්ඨ ය. අඹුවන්ගෙන් බාල වයසෙහි සිටි බිරින්දෑ ශ්‍රේෂ්ඨය. පුතුන්ගෙන් පළමුව උපන් පුතා ශ්‍රේෂ්ඨය.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“සම්‍යක් සම්බුදු තෙමේ දෙපා ඇතියන්ගෙන් ශ්‍රේෂ්ඨය. සිව්පාවුන්ගෙන් ආජානීයයා ශ්‍රේෂ්ඨය. කී දේ තේරුම් ගන්නා සතා ශ්‍රේෂ්ඨය. අඹුවන්ගෙන් කියන දේ අසන කීකරු භාර්‍ය්‍යාව ශ්‍රේෂ්ඨය. පුතුන්ගෙන් මව්පියන්ට කීකරු පුතා ශ්‍රේෂ්ඨය.”
1. 2. 5.
5. සකමාය (සන්නිකාය) සූත්‍රය
15. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්ාස් වැඳ එකත්පසෙක සිටියේය. එකත් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
[දෙවතාව:]
“ඉර මුදුන් වේලෙහි පක්‍ෂීන් එකතුව විවේක ගෙන හුන් කලැ මහ වනය හඬන්නාක් මෙනි. එය මට බියෙක්ව වැටහේ.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඉර මුදුන් වේලෙහි පක්‍ෂීන් රැස්ව හුන් කල්හි මහ වනය හඬන්නාසේ ශබ්ද කෙරේ. එය මට සැපයෙක්ව වැටහේ.”
1. 2. 6.
6. නිද්දාතන්‍දි සූත්‍රය
16. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකළ වනාහි එකතරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබලන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
[දෙවතාව:]
“නින්ද, මැලිබව, බඩගිනි හෝ සීත ආදිය නිසා ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ උපක්ලේශ නිසා මෙහි සත්ත්‍වයන්ට ආර්‍ය්‍ය මාර්‍ගය නොපැනේ.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“නින්ද, මැලිබව, ඇඟමැලිකැඩුම, කුසල්හි නොඇල්ම, බත්මත යන මේ දේ වීර්‍ය්‍යයෙන් පලවා හැරීමෙන් ආර්‍ය්‍යමාර්‍ගය පිරිසිදුවේ.”
1. 2. 7.
7. දුක්කර (කුම්ම) සූත්‍රය
17. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම බෘග්‍යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
[දෙවතාව:]
“බාලයා විසින් මහණදම් කළ නොහැක්ක, ඉවසිය නොහැක්ක. යම් ඒ මහණදමෙක්හි අව්‍යක්තයා පසුබසීද, එහිලා ඔහුට සම්බාධකයෝ බොහෝ වෙත්.”
(භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක:)
“ඉදින් සිත නොවළක්වන්නේ නම්, ඔහු කී දිනක් මහණකම් කරන්නේද? ඔහු පාප විතර්‍කයන්ට වසඟවූයේ අරමුණක් පාසා පසුබස්නේය.”
“අවයවයන් සිය කබලතුළ බහා ගන්නා ඉදිබුවාසේ මහණතෙම සිතේ උපන් විතර්‍කයන් භාවනාලම්බන නමැති කබලෙහි එක්කොට බහාලන්නේ, තෘෂ්ණාදෘෂ්ටි ආදීන්ගේ ආශ්‍රයෙන් තොරවූයේ, අනුන් නොවෙහෙසන්නේ: කෙලෙස් පිරිනිවනින් පිරිනිවියේ කිසිවෙකුටත් නින්දා නොකරන්නේය.”