1. 2. 1.
1. නන්දන සූත්රය
11. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හ් වනාහි භාග්යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථා කළසේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා දෙව්ලෝ වැසි එක්තරා දෙවියෙක් නන්දන වනයෙහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලද්දේ, දිව්යමයවූ පඤචකාම සම්පත්තීන් යුක්තවූයේ, සමන්විතවූයේ, රූප ශබ්දාදියෙන් විනෝද වනුයේ ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
“පරිවාර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ වාසස්ථානයවූ නන්දනවනය යම් කෙනෙක් නොදකිත්නම්, ඔවුහු සැප නම් කිමෙක්දැයි නොදක්නාහ.” යනුයි.
මෙසේ කී කළ වෙනත් දෙවියෙක් ඒ දෙවියාට ගාථාවෙකින් පෙරළා කීය:
“අනුවණය, රහතුන්ගේ වචනය යම්සේ නම් එසේ තෝ නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්යයහ. ඉපැදීම හා නැස්ම ස්වභාවයකොට ඇතියහ. ඒ සියල්ල ඉපිද නැසෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම (නිවන) ම සැප වේයැ’යි”
1. 2. 2.
2. නන්දති සූත්රය
12. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය.
එකත් පසෙක සිටි ඒ දෙවි තෙම භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය :
“දරුවන් ඇත්තේ දරුවන් කරණකොට සතුටුවේ. ගවයන් ඇත්තාද එසේම ගවයන් කරණකොට සතුටුවේ. උපධීන් (කාමසැප) කරණකොට සත්වයාට සතුට ඇතිවේ. යමෙක් උපධි නැත්තේද (පස්කම් සැප නැත්තෙක් වේද) ඔහු නොම සතුටු වේ.”
[භාග්යවතුන් වහන්සේ:]
“දරුවන් ඇත්තේ දරුවන් කරණකොට ශෝක කෙරේ. ගවයන් ඇත්තාත් එසේම ගවයන් කරණකොට ශෝක කෙරේ. උපධීන් (කාම සැප) කරණකොට සත්ත්වයාට ශෝක ඇතිවේ. යමෙක් උපධි (කාම සැප) නැත්තේද ඔහු ශෝක නොකෙරේ.”
1. 2. 3.
3. නත්ථිපුත්තසම සූත්රය
13. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එතල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත් පසෙක සිටියේය.
එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“පුත්ර ප්රේමය බඳු අන් ප්රේමයක් නැත. ගවසම්පත වැනි වෙන සම්පතෙක් නැත. හිරුට සමවූ වෙන එළියෙක් නැත. මුහුද බඳුවූ අන් විලක් නැත.”
[භාග්යවතුන් වහන්සේ:]
“තමා කෙරෙහි ප්රේමය බඳු ප්රේමයක් වෙන නැත. ධාන්ය හා සමාන ධනයෙක් නැත. ප්රඥාව හා සමාන ආලෝකයෙක් නැත. වැස්ස හා සමාන විලක් නැත.”
1. 2. 4.
4. ඛත්තිය සූත්රය
14. මා විසිත් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය.
එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“දෙපා ඇතියන්ගෙන් ක්ෂත්රියයා ශ්රේෂඨය. සිවුපාවුන් අතුරෙන් ගවයා ශ්රේෂ්ඨ ය. අඹුවන්ගෙන් බාල වයසෙහි සිටි බිරින්දෑ ශ්රේෂ්ඨය. පුතුන්ගෙන් පළමුව උපන් පුතා ශ්රේෂ්ඨය.”
[භාග්යවතුන් වහන්සේ:]
“සම්යක් සම්බුදු තෙමේ දෙපා ඇතියන්ගෙන් ශ්රේෂ්ඨය. සිව්පාවුන්ගෙන් ආජානීයයා ශ්රේෂ්ඨය. කී දේ තේරුම් ගන්නා සතා ශ්රේෂ්ඨය. අඹුවන්ගෙන් කියන දේ අසන කීකරු භාර්ය්යාව ශ්රේෂ්ඨය. පුතුන්ගෙන් මව්පියන්ට කීකරු පුතා ශ්රේෂ්ඨය.”