1. 1. 8.
8. සුසම්මුටඨ සූත්රය
8. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශොභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්යවතුන් වහන්සේ සමීපයෙහි මේ ගාථාව කීය:
“යම් කෙනෙකුන් විසින් (සත්යයෝ) ධර්මයෝ හාත්පසින් අවබෝධ නොකරන ලද්දෝද, ඔවුහු මිථ්යාදෘෂ්ටීන් කරා ගෙනයනු ලැබෙත්. නිදාගත් ඔවුහු නොපුබුදිත්. ඔවුන්ට (දැන්) පිබිදෙන්නට කාලයයි.”
[භාග්යවතුන් වහන්සේ:]
“යම් කෙනෙකුන් විසින් (සත්යයෝ) ධර්මයෝ හාත්පසින් අවබෝධ කරන ලද්දෝද, ඔවුහු මිත්ථ්යාදෘෂටීන් කරා ගෙනගයනු නොලැබෙත්. මනාව දැන අවබෝධ කළාවූ (බුදුවරයෝ) විෂමයෙහි සමව හැසිරෙත්.”
1. 1. 9.
9. මානකාම සූත්රය
9. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් වහන්සේට මේ ගාථාව කීය:
“මේ ලෝකයෙහි මානය කැමැත්තහුට සිතෙහි දමනයක් නැත. (එහෙයින්ම) සමාධියට නොපැමිණි (එකඟ නොවූ) සිතැත්තහුට මුනි බවෙක් නැත. (එසේවූ) ප්රමාදව හුදෙකලාව වෙනෙහි වසන්නේ නමුදු, මරහු සිටින තැනින් (සසරින්) එගොඩ යාගත නොහෙන්නේය.”
[භාග්යවතුන් වහන්සේ:]
“මානය දුරලා මොනොවට එකඟවූ සිතැත්තේ ප්රඥායෙන් යුක්තවූයේ, විශේෂයෙන් මිදුණේ, හුදෙකලාව වෙනෙහි පමා නොවී වසනුයේ ඔහු සසර ඉක්මවා එගොඩ (නිවනට) පැමිණෙන්නේය”
1. 1. 10.
10. අරඤඤ සූත්රය
10. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දේවතාවෙක් රෑ පෙරයම ඉක්ම ගිය කල්හි බබළන ශරීර ශෝභා ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දෙවිතෙම භාග්යවතුන් සමීපයෙහි මේ ගාථාව කීය:
“වනයෙහි වසන, එක් වේලක් පමණක් වළඳන, ශාන්තවූ බ්රහ්මචාරීන්ගේ (ශරීර) වර්ණය කවරහෙයකින් ප්රසන්න වේද?”
[භාග්යවතුන් වහන්සේ:]
“වනයෙහි වසන (ඒ භික්ෂූහු) ගිය දේ ගැන ශෝක නොකෙරෙත්. (නොපතත්) දැන් ලත් දෙයෙකින් යැපෙත්. එහෙයින් ඔවුන්ගේ (ශරීර) වර්ණය ප්රසන්න වේ.”
“නොපැමිණි දේ පැතීමෙන්ද, ගිය දේ ගැන ශෝක කිරීමෙන්ද, අනුවණයෝ රත්වූ ගලක් මත්තෙහි කපා දැමූ ළා බට දණ්ඩක් සේ වියලෙත්.”
පළමුවන නළවර්ගයයි.
එහි සූත්ර නාමාවලිය:
ඕඝ, නිමොක්ඛ, උපනීයති, අච්චෙන්ති සහ කතිඡින්ද සූත්රය ද; ජාගර, අප්පටිවිදිත, සුසම්මුට්ඨ, මානකාම; දසවැන්න අරඤ්ඤ සූත්රය යැයි මෙසේ මේ වර්ගය කියනු ලැබේ.
2. නන්දන වර්ගය
1. 2. 1.
1. නන්දන සූත්රය
11. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හ් වනාහි භාග්යවතුන් වහන්සේ “මහණෙනි” කියා භික්ෂූන්ට කථා කළසේක. “පින්වතුන් වහන්සැ” යි ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක:
“මහණෙනි, පෙර වූවක් කියමි. තව්තිසා දෙව්ලෝ වැසි එක්තරා දෙවියෙක් නන්දන වනයෙහි දෙවඟනන් සමූහයා විසින් පිරිවරන ලද්දේ, දිව්යමයවූ පඤචකාම සම්පත්තීන් යුක්තවූයේ, සමන්විතවූයේ, රූප ශබ්දාදියෙන් විනෝද වනුයේ ඒ වේලාවෙහි මේ ගාථාව කීය:
“පරිවාර සම්පත් ඇති තව්තිසා දෙවියන්ගේ වාසස්ථානයවූ නන්දනවනය යම් කෙනෙක් නොදකිත්නම්, ඔවුහු සැප නම් කිමෙක්දැයි නොදක්නාහ.” යනුයි.
මෙසේ කී කළ වෙනත් දෙවියෙක් ඒ දෙවියාට ගාථාවෙකින් පෙරළා කීය:
“අනුවණය, රහතුන්ගේ වචනය යම්සේ නම් එසේ තෝ නොදන්නෙහිය. සියලු සංස්කාරයෝ අනිත්යයහ. ඉපැදීම හා නැස්ම ස්වභාවයකොට ඇතියහ. ඒ සියල්ල ඉපිද නැසෙත්. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම (නිවන) ම සැප වේයැ’යි”