1. 1. 2.
2. නිමොක්ඛ සූත්‍රය
2. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබලන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුලුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය:
“නිදුකාණනි ඔබ සත්වයන්ගේ නිමොක්ඛයත් (ආර්‍ය්‍ය මාර්‍ගය) පමෝක්ඛයත් (ආර්‍ය්‍ය ඵලය) විවේකයත් (නිර්‍වාණය) දන්නෝදැ ?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ඇවැත්නි මම් වනාහි සත්ත්‍වයන්ගේ නිමෝක්ඛයත් පමෝක්ඛයත් විවේකයත් දනිමි.”
[දේවතාවා:]
“නිදුකාණනි, සත්ත්‍වයන්ගේ නිමෝක්ඛය, විමෝක්ඛය, විවේකය, කුමකැයි ඔබ දන්නෝද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“තණහාව මුල්කොට ඇති භවය සර්‍වප්‍රකාරයෙන් ක්‍ෂයබවට පැමිණීමෙන්ද, සංඥාස්කන්‍ධ විඥානස්කන්‍ධයන්ගේ ක්‍ෂය බවට පැමිණීමෙන්ද, වේදනාවන්ගේ නිරුද්ධවීමෙන්, සංසිඳීයෑමෙන්ද මෙසේ සත්ත්‍වයන්ගේ නිමෝක්ඛය, පමෝක්ඛය, විවේකය වේයැයි මෙසේ, ඇවැත්නි, මෙය මම දනිමි”
1. 1. 3.
3. උපන්‍යෙය සූත්‍රය
3. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන්වහන්සේ යම් තැනෙකද එතැනට පැම්ණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. ඉක්බිති ඒ දෙවිතෙම භාග්‍යවතුන්වහන්සේගේ සමීපයෙහි මේ ගාථාව කීය:
“ජීවිතය ගෙවෙයි. ආයුෂ ස්වල්පය. ජරාව කරා එළඹියාහට පිහිටවිය හැකි කෙනෙක් නැත්තාහ. මේ මරණ භය දක්නා තැනැත්තේ සැප ගෙනදෙන පින් කරන්නේය.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“ජීවිතය ගෙවෙයි. ආයුෂ ස්වල්පය. ජරාවට පැමිණියාහට පිහිට විය හැකි කෙනෙක් නැත්තාහ. මේ මරණ භය උතුම් නිවන් දක්නා තැනැත්තේ බලාපොරොත්තු වන්නෙක්ව ලෞකික සම්පත් හැර දමන්නේය.”
1. 1. 4.
4. අච්චෙන්ති සූත්‍රය
4. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඩු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේකවනය බබුලුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවකුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
“කාලයෝ ඉක්ම යෙත්. රාත්‍රීහු (මරණය කරා) පමුණුවත්. වයස් රාශීහු පිළිවෙළින් හැර යෙත්. මේ මරණ භය දක්නා තැනැත්තේ සැප ගෙන දෙන පින් කරන්නේය.”
[භාග්‍යවතුන් වහන්සේ:]
“කාලයෝ ඉක්මෙත්. රාත්‍රීහු (මරණය කරා) ගෙනයත්. වයස් රාශීහු පිළිවෙළින් හැරයෙත්. මේ මරණ භය දන්නා තැනැත්තේ උතුම් නිවන බලාපොරොත්තුවෙන් ලෞකික සම්පත් හැර දමන්නේය.”
1. 1. 5.
5. කතිඡින්‍ද සූත්‍රය
5. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අණේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්ම ගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමැණියේය. පැමිණ, භාග්‍යවතුන්වහන්සේ වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ දෙවිතෙම භාග්‍යවතුන්වහන්සේට ගාථාවකින් (මෙසේ) කීය.
“කීයක් සිඳ ලන්නේද? කීයක් දුර ලන්නේද? මත්තෙහි කීයක් වඩන්නේද? බන්‍ධන කීයක් ඉක්මවූ භික්‍ෂුතෙම ඕඝයයන් එතර කළ තැනැත්තේයයි කියනු ලැබේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“(කෙලෙස්) බැඳුම් පසක් සිඳලන්නේය. (කෙලෙස්) බැඳුම් පසක් දුරලන්නේය. මත්තෙහි (ශ්‍රද්‍ධාදී ඉන්‍ද්‍රිය) පසක් වඩන්නේය. (බන්‍ධන) පසක් ඉක්මවූ භික්‍ෂූතෙම ඕඝයයන් එතරකළ තැනැත්තේයයි කියනුලැබේ.”
1. 1. 6.
6. ජාගර සූත්‍රය
6. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එකල වනාහි එක්තරා දෙවියෙක් රෑ පළමු දසපැය ඉක්මගිය කල්හි බබළන ශරීර වර්‍ණ ඇත්තේ සියලු ජේතවනය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය. එක් පසෙක සිටි ඒ දේවතාවා භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි මෙී ගාථාව කීය:
“කීදෙනෙකුන් පිබිද සිටින කල්හි කීදෙනෙක් නින්‍දට පැමිණියෝද ? කීදෙනෙකුන් නිදාගත් කල්හි කීදෙනෙක් පිබිද ඉන්නාහුද? කීයෙකින් (කෙලෙස්) ධූලි අල්ලා ගනීද? කීයෙකින් පිරිසිදූවේද?”
[භාග්‍යවතුන් වහන්සේ:]
“පස් දෙනෙකුන් (පඤෙචන්‍ද්‍රිය ධර්‍මයන්) පිබිද සිටින කල පස්දෙනෙක් (පඤච නීවරණයෝ) නිදා ඉන්නාහුය. පස්දෙනෙකුන් (පඤචනීවරණයන්) නිදිගත්කල පස්දෙනෙක් (පඤෙචන්‍ද්‍රිය ධර්‍මයෝ) පිබිද සිටින්නාහ. පස් දැයෙකින් (පඤචනීවරණයන් නිසා) කෙලෙස් ධූලි අල්ලාගනී. කරුණු පසක් කරණ කොටගෙන (ශ්‍රද්ධාදී පඤෙචන්‍ද්‍රියයන් නිසා) පිරිසිදුවේ.”