3. 5. 10.
ඉන්ද්‍රිය භාවනා සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කජංගල නම් නියම්ගම සමීපයෙහිවූ මුවෙලු වෙනෙහි (මුඛෙලු නම් එක් වෘක්ෂ විශේෂයෙකි. ඒ මුවෙලු රුකින් ගැවසීගත් මහ වනලැහැබෙක) වැඩවසන සේක. ඉක්බිති “පාරාසරිය” නම් බමුණාගේ අතවැසිවූ “උත්තර” නම් මානවකතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට එළඹියේය. එළඹ, භාග්‍යවතුන් වහන්සේ සමග සතුටු විය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක හුන්නේය. එකත්පස්ව උන්නාවූ පාරාසරිය බ්‍රාහ්මණයාගේ අතවැසිවූ උත්තර නම් මානවකයාට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය වදාළසේක.
“උත්තරය, පාරාසරිය බ්‍රාහ්මණ තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කෙරේදැයි’ ඇසූහ.
“ගෞතමයන් වහන්ස, පාරාසරිය, බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කෙරේයයි” (කීය.)
“උත්තරය, ඒ කෙසේ වනාහි පාරාසරිය බමුණු තෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කෙරේදැයි” වදාළසේක.
“භවත් ගෞතමයන් වහන්ස, මේ ලෝකයෙහි ඇසින් රූපය නොබලයි. කණින් ශබ්දය නොඅසයි. භවත් ගෞතමයන් වහන්ස, මෙසේ පාරාසරිය බමුණුතෙමේ ශ්‍රාවකයන්ට ඉන්ද්‍රිය භාවනාව දේශනා කෙරේ” (යයි කීය.)
“උත්තරය, පාරාසරිය බමුණාගේ වචනය යම් ප්‍රකාරයකින් වේද, එසේ ඇති කල්හි වනාහි අන්ධතෙම වඩන ලද ඉඳුරන් ඇත්තෙක් වන්නේය. බිහිරා වඩනලද ඉඳුරන් ඇත්තෙක් වන්නේය. ඒ එසේමැයි, අන්ධ තෙමේ රූප නොදකී. බිහිරා හඬ නොඅසායයි” (වදාළසේක.)
මෙසේ වදාළ කල්හි පාරාසරිය බමුණාගේ අතවැසිවූ උත්තර මානවක තෙමේ නිහඬ බවට පැමිණියේ තේජස් රහිත බවට පැමිණියේ කරබා ගත්තේ යට හෙලා ලු මුව ඇත්තේ සිතිවිලි සිතමින් වැටහීම නැත්තෙක්ව හුන්නේය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පාරාසරිය බමුණාගේ අතැවැසිවූ, නිශ්ශබ්දවූ, තේජස් නැති බවට පැමිණියාවූ, කරබාගත් මුහුණ පහත් කරගෙන කල්පනා කරන්නාවූ, කරුණු නොවැටහෙන්නාවූ උත්තර මානවකයා දැක, ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්ට කථා කළසේක. ආනන්දය, පරාසරිය බමුණා ශ්‍රාවකයන්ට ඉඳුරන් වැඩීම අන් ආකාරයකින් කියයි. ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව අන් ආකාරයකින් වේයයි (වදාළසේක.)
“යම් හෙයකින් භාග්‍යවතුන් වහන්සේ ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්නේ නම් භාග්‍යවතුන් වහන්ස, මේ එයට කල් වන්නේය. සුගතයන් වහන්ස, මේ එයට කල් වන්නේය. භාග්‍යවතුන් වහන්සේගෙන් අසා භික්ෂූහු දරන්නාහුයයි” (කීය.)
“එසේවී නම් ආනන්දය, අසව මනාකොට මෙනෙහිකරව. කියන්නෙමි”යි වදාළේය.
“එසේය, වහන්සැ”යි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවත්හට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
“ආනන්දය, කෙසේ වනාහි ආර්‍ය්‍ය විනයෙහි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාව වේද යත්? ආනන්දය, මේ ශාසනයෙහි මහණහට ඇසින් රූප දැක ඇලීම උපදියිද, කිපීම උපදියිද, සිත ඇලීම හා කිපීම උපදියිද, හෙතෙම මෙසේ මට ලෝභය උපන්නේය. ද්වේෂය උපන්නේය. ලෝභය හා ද්වේෂය උපන්නේය. එය වනාහි ප්‍රත්‍යයන් විසින් කරන ලද්දේය. ඕළාරිකය, හේතුවෙන් උපන්නේය. යම් මේ විදර්ශනොපෙක්ෂාවක් වේද, එය ශාන්තය. එය ප්‍රණීතයයි දනීද, ඔහුට උපන් ඒ ලෝභ සිතද, උපන් කෝප සිතද, ලෝභ සිත හා කෝප සිතද නිරුද්ධ වෙයි. විදර්ශනා උපෙක්ෂාව මනාව පිහිටයි. ආනන්දය, යම්සේ වනාහි පිරිසිදු ඇස් ඇති පුරුෂයෙක් ඇස්පිය අරින්නේද, ඇස් ඇර පියන්නේද, ආනන්දය, එපරිද්දෙන්ම යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන් උපන් ලෝභ සිතද, උපන් කෝප සිතද, උපන් ලෝභ සහ කෝප සිතද නිරුද්ධ වෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දය, ආර්‍ය්‍යවිනයයෙහි මෙය ඇසින් දතයුතුවූ රූපාරම්මණයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.
“නැවතද ආනන්දයෙනි, භික්ෂුවට කණින් (ශ්‍රොත විඥානයෙන්) ශබ්ද අසා මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනීද, මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්‍ශනා) උපෙක්‍ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය. මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයි. විදර්‍ශනොපෙක්‍ෂාව මනාව සිටීයයි ආනන්දයෙනි, යම්සේ වනාහි ශක්තිමත් පුරුෂයෙක් අසුර ගසන්නේද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා මෙසේ ඉක්මනින් මෙසේ පහසුවෙන් උපන් මනාපවූ සිතද, උපන් අමනාපවූ සිතද උපන් මනාප අමනාප සිතද, නිරුද්ධ වෙයි. විදර්‍ශනොපෙක්‍ෂාව මනාව සිටීද, ආනන්දය, මෙය ආර්‍ය්‍ය විනයයෙහි කණින් දතයුතුවූ ශබ්දයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.
“නැවතද ආනන්දයෙහි, මහණහට ඝ්‍රාණවිඥානයෙන් (නැහැයෙන්) ගඳ ආඝ්‍රාණයකොට මනාප සිතද උපදී. අමනාප සිතද උපදී. මනාප-අමනාප සිතද උපදී. හෙතෙම මෙසේ දනී. මට මේ ලෝභ සහගත සිත උපන්නේය. ද්වේෂ සහගත සිත උපන්නේය. එයද වනාහි හේතුවෙන් හටගත් ඕළාරිකාරම්මණය නිසා උපන්නේය. යම් මේ (විදර්ශනා) උපෙක්ෂාවක් වේද, මෝතොමෝ ශාන්ත වන්නීය, මෝතොමෝ ප්‍රණීත වන්නීය. ඔහුගේ උපන් ඒ මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැතිවෙයි. විදර්ශනොපෙක්ෂාව මනාව සිටී. ආනන්දයෙනි, යම්සේ වනාහි මඳක් නැබුරුවූ නෙලුම් කොළයෙකැ වැටෙන්නාවූ දියබින්දු නොසිටිද්ද, එපරිද්දෙන්ම ආනන්දයෙනි, යම් කිසිවෙකුට මෙසේ වහා, මෙසේ ඉක්මනින්, මෙසේ පහසුවෙන්, උපන් මනාප සිතද, උපන් අමනාප සිතද, උපන් මනාප-අමනාප සිතද නැති වෙයිද, විදර්ශනොපෙක්ෂාව මනාව සිටීද, ආනන්දයෙනි, මෙය ආර්ය විනයයෙහි නාසයෙන් දතයුතුවූ ගන්ධයන්හි නිරුත්තරවූ ඉන්ද්‍රිය භාවනාවයයි කියනු ලැබේ.