7. 10. සෙරිස්සක විමාන කථාව
“යම්සේ වෙසවුණු රජුගේ පරිවාරකවූ සෙරිස්සක දිව්‍යපුත්‍රයාගේ හා වෙළඳුන්ගේද යම් වාලුකා කාන්තාර භූමියකදී එක්වීමක්වේද, එතන්හිදී ඔවුනොවුන් විසින් මනාව කියනලද යම් කථා ප්‍රවෘත්තියක් ඇතිවීද තොපි සියල්ලෝ ඒ පුවත අසව්.
“සෙතව්‍ය නුවර පායාසි නම් යම් රාජවංශිකයෙක් වේද, ඒ රාජවංශිකතෙම භුමාටු දෙවියන් හා එක්ව ආනුභව සම්පන්නව උපන්නේය. ඒ සෙරිස්සක දිව්‍යපුත්‍රයා පිරිවර දෙවතාවන් හා සමග සතුටුව දිව්‍යපඤ්චකාම සම්පත් වළඳමින් තමාගේ විමනෙහිම සිට වෙළඳුන් දැක මෙසේ කීය.
“පින්වත් මනුෂ්‍යයෙනි, මේ කාන්තාරයට පැමිණි මිනිසුන්ට අපගේ ජීවිතය ඇතිවේද නැතිවේද, මරණ පැමිණේද දිවි රැකගෙන යාහැකි වේදැයි, කියා සැක උපදියි. නිතර යක්ෂ පිශාචාදී අමනුෂ්‍යයන් හැසිරෙන්නාවූ මිනිසුන්ට ගොචර නොවූ සුවසේ යා නොහැකිවූ කන බොන දේ නැත්තාවූ පැන්ගෙන යායුතුවූ,
“මේ වාලුකාකාන්තාරය මැද කෑයුතු ගෙඩි හා මුල් ජාතියකුත් නැත්තේය. දරුණුවූ උනුවැලිත් පසුත් හැර අන් කිසිවක් නැත්තේය. එහෙයින් කෑයුතු ආහාරයක් මෙහිදී කොයින් ලැබේද, නොලැබේමය.
“මඳක් පඬුවන් රළුවූ තද පස් ඇත්තාවූ රත්කළ අයොමය කබලක් වැනිවූ සත්වයන්ට භය එලවන්නාවූ අමනුෂ්‍ය සතුරන්නේ ගැවසී ගත්තාවූ කිසි සැපතක් පිහිටක් නැත්තාවූ පරලොවක් හෙවත් නරකයක් වැනිවූ පුරාණ පටන් බොහෝ කලක් මුළුල්ලෙහි යක්ෂයන්ට වාසස්ථානවූ
“මේ භූමි ප්‍රදෙශයට තොපි කවර කරුණකින් ආවාහුද? කවර වස්තුවක් පතා ආවාහුද? තොපගේ සතුරෙකු විසින් අනතුරු කරුණු කැමතිව රටින්නගා හරනලද්දාහුද, නොහොත් මංමුළාව ආවාහුදැයි” විචාළේය.
“පින්වත් දිව්‍යපුත්‍රය, අපි අඟු මගධ දෙරට වැඩුනාවූ ගැල් පදින්නෝවම්හ. ගැල්වල බොහෝ බඩුපුරවාගෙන වැඩිලාහ උපදවම්හයි සිතා වස්තුලෝභයෙන් සින්ධු දෙශයට හා සොවීර දෙශයට වෙළඳාම් පිණිස යම්හ.
“නුඹ දක්නට පළමුවෙන් උෂ්ණය බලවත් හෙයින් ග්‍රීෂ්මය ඉවසිය නොහැකිව ගොනුන්ට හා මිනිසුන්ට පහසු පිණිස අනුකම්පාවෙන් දහවල් එක්තැනක ලැගුම්ගෙන සිටි අපි සියල්ලෝම රාත්‍රයෙහි මගට පැමිණියම්හ.
“නොකල්හි ගමන යහපත් නොවෙයි. එහෙයින් යක්ෂාධිගෘහිත වාලුකා කාන්තාරය මැද මග දැනගත නොහී මංමුලාව නුවණැස් අන්ධව ඇස් නැත්තන්සේ සින්ධු සොවීර දෙශය අසවල් දිගයයි, කියා දැනගත නොහැකිව විනාශ මුඛයට පැමිණියම්හ.
“මෙයින් මතු අපගේ දිවිනැතිවේයයි කියා සිතට සැක උපන. පින්වත් දිව්‍යපුත්‍රය, අප විසින් පෙර නොදක්නා ලද මේ දිව්‍ය ප්‍රාසාදය හා නුඹගේ යම් මේ දැකීමක්වේද, ඒ දැකීම් හේතුවෙන් ප්‍රීතියෙන් ඔද වැඩි සිත් ඇත්තෝවම්හ. මෙතැන් පටන් දිවි ලබම්හයි සිතා නුඹ වහන්සේ දැක සතුටු වම්හයි” කීහ.