5. 13. චුල්ල රථ විමාන කථාව
982. “මනාකොට සදා නගන ලද දුන්නක් ගෙන එක් කෙළවරක් බිම ඔබා අනෙක් කෙළවර එල්ලී සිටිනාවූ තෝ රජකුලයේ කුමාරයෙක්ද නොහොත් මේ වනයෙහි වසන වල් වැද්දෙක්ද?”
983. “ස්වාමීනි මම අස්සක රජුගේ වනයෙහි හැසිරෙන්නාවූ පුත්‍රයාය. ස්වාමීන් වහන්ස, මගේ නම නුඹ වහන්සේට කියමි. සුජාතයයි මා දැනගන්න.
984. “මම මෘගයන් සොයන්නේ මහාවනයට වැදුණෙමි. එම මෘගයා නොදැක්කෙමි. මම නුඹවහන්සේ දැක සිටියෙමි.
985. “මහා භාග්‍ය ඇත්ත, ඔබගේ පැමිණීම යහපත්ය. අයහපත් පැමිණීමක් නොවේ. මෙතැනින් දිය ගෙන ඔබේ පා සෝදාගන්න.
986. “සිහිල්වූ මේ ජලය පර්වත ගුහාවෙන් ගෙන එනලදී. රාජපුත්‍රය, එතැනින් වී ඇතිරියෙහි හිඳිනු මැනව.
987. “මහාමුනීන් වහන්ස, නුඹගේ වචනය කණට මිහිරිය. යහපත්ය. කෙළතොළු නොවේ. අර්ථවත්ය. මනොඥය. අර්ථය සිතා කියන්නෙහිය.
988. “වනයෙහි වාසය කරන්නාවූ නුඹවහන්සේට කිනම් ඇල්මක්ද, ශ්‍රේෂ්ඨ ඍෂිවරය, විචාරණලද්ද කියනු මැනව. නුඹවහන්සේගේ වචන මාර්ගය අසා තේරුම් ඇති ධර්ම පදයක හැසිරෙමි.”
989. “කුමාරය, සියලු සත්වයන්ට හිංසා නොකිරීමද සොරකමින්ද ස්ත්‍රීසෙවනය කිරීමෙන්ද බොරුකීමෙන්ද රහමෙරින්ද වැලකීම අපට රිසි වන්නේය.
990. “දුශ්චරිතයෙන් වෙන්වීමද බොහෝ අසූ පිරූ තැන් ඇති බව (උගත්කම) ද, කළගුණ දන්නා බවද යන මේ උසස් ධර්මයෝ මෙලොවම ප්‍රශංසා කටයුතු වන්නාහ.
991. “රාජකුමාරය පස්මසකින් මෙපිට ඔබේ මරණය වේයයි දනුව තමා මුදන්න.
992. “ඒ මම කිනම් දෙශයකට ගොස් කිනම් කර්මාන්තයක් කිනම් බලපරාක්‍රමයක් කොට, කිනම් විද්‍යාවකින් අජරාමර (නොදිරන්නෙක් නොමැරෙන්නෙක්) වෙම්දැයි” විචාළේය.
993. “එම්බා රාජකුමාරය, මනුෂ්‍යතෙම යම්තැනකට ගොස් එකාන්තයෙන් අජරාමරවේද එබඳුවූ කර්මයක්, විද්‍යාවක් ධෛර්‍ය්‍යක් නොපෙනේ.
994. “මහත් ධන ඇත්තාවූ මහත් වස්තු ඇත්තාවූ රටවල් ඇති රජවරු පවා බොහෝ ධනධාන්‍ය ඇත්තෝවුවද ඔවුහුද අජරාමර නොවූහ.
995. “සූරවූ වීරවූ බලපරාක්‍රමයෙන් මඩින්නාවූ සතුරන් ජයගන්නාවූ සදාකාලිකව මෙන් සිටි ප්‍රසිද්ධ අන්ධක වෙණ්හු පුත්‍රයෝ ඉඳින් තොප විසින් අසන ලද්දාහුද, ඔව්හුද මරණයට පැමිණියාහුය. නැසුනාහ.
996. “ක්ෂත්‍රියයෝද බ්‍රාහ්මණයෝද වෛශ්‍යයෝද ශුද්‍රයෝද චණ්ඩාලයෝද (අශුචි ශොධකයෝ)ද ජාතියෙන් මෙබඳු වූවාහුද අන්‍යයෝද ජරාමරණ දුරුකළාහු නොවෙත්.
997. “යම් කෙනෙක් බ්‍රහ්මයා විසින් සිතන ලද අංග සයකින් යුත්, මන්ත්‍ර පවත්වයිද විද්‍යාවෙන් යුත් මොවුහුද අන්‍යයෝද අජරාමර නොවූහ.
998. “සංවර ආත්මභාව ඇති තපස් කරනා සුලු ශාන්තවූ යම් ඍෂීහුවෙත්ද ඒ තාපසයෝ සුදුසු කාලයෙහි ශරීරය අත්හරිත්.
999. “කළයුතු වැඩකළ, ආශ්‍රවයන් ක්ෂය කළ, දියුණු කළ සිත ඇති රහත්හුවෙත්ද පින්පව් ක්ෂයවීමෙන් මේ ශරීරය බිඳදමත්.”
1000. “මහර්ෂිවූ ස්වාමීනි, ඔබවහන්සේ ධර්මයවූ පරිද්දෙන් මාගේ සිතට හෙලා වදාරණලද අර්ථවත් ගාථා යහපත් අභිප්‍රායන් අනුව සිතට නගාගතිමි. නුඹවහන්සේද මට සරණවන්න.