3. 9.
667. “විසාලක්ඛිය, ඔබ දිව්‍යාංගනා සමූහයා විසින් පෙරටු කරණලද්දී රම්‍යවූ චිත්‍රලතා වනයෙහි හාත්පස ඇවිදින්නෙහිය.
668. “යම් කාලයෙක්හි තවුතිසා වැසි දෙවියෝ මේ වනයට ප්‍රවිෂ්ටවෙත්ද මෙහි පැමිණියාවූ සුදුසුවූ රථ සහිතවූ සියල්ලෝ විසිතුරු වෙති.
669. “මෙහි පැමිණ උයනෙහි හැසිරෙන තොපගේ ශරීරයෙහි කැළලක් නොපෙනේ. තොපගේ රූපය කවරහෙයකින් මෙබඳුවීද? විචාරණලද දේවතාව කියනු මැනව, කිනම් කර්මයක්හුගේ මේ ප්‍රතිඵලයද?”
670. “දෙවෙන්ද්‍රය, යම් කර්මයකින් මගේ රූපයද මගේ ගතියද ඍද්ධියද ආනුභාවයද වේද, ශක්‍රය එය අසනු මැනව.
671. “මම රම්‍යවූ රජගහනුවර හැමකල්හි ශ්‍රද්ධාවත්වූ සීලයෙන් යුක්තවූ බෙදාදීමෙහි ඇලුණු සුනන්දා නම් උපාසිකාවක් වූවාවෙමි.
672. “වස්ත්‍රද, ආහාරද, සෙනසුන්ද, පහන්ද, පැහැදුනාවූ සිහින් සෘජුවූවන් වෙත දුනිමි.
673. “තුදුස්වක් දිනයෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද ප්‍රාතිහාර්ය පක්ෂ දිනයෙහිද අෂ්ටාංගයෙන් යුක්තවූ උපොසථය සමාදන් වීමි.
674. “හැමකල්හි සීල සංවරයෙන් යුක්තව පොහෝදා අටසිල් සමාදන්වීමි. සියලු කාලයෙහිම හික්මීමෙන් යුක්තව සීලය වෙන් වෙන්ව සිතීමෙන් යුක්තව, මාගේ ගෙයි වාසය කෙළෙමි.
675. “සතුන් මැරීමෙන් වෙන්වුණෙමි. බොරු කීමෙන්ද වැළකුණෙමි. සොරකමින්ද මිථ්‍යාචාරයෙන්ද, මත්පැන් බීමෙන්ද දුරුවුණෙමි.
676. “යසස ඇත්තාවූ, නුවණැස ඇත්තාවූ ගෞතමයන් වහන්සේගේ සිල්පද පසෙහි ඇලුණු ආර්යසත්‍යයෙහි දක්ෂ උපාසිකාවක් වීමි.
677. “ඒ මාගේ නෑ කුලයෙහි දාසියක් හැමකල්හි මල් ගෙන එයි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ථූපයෙහි සියල්ල පිදුවෙමි.
678. “මම පොහෝ දිනයෙහිද ගොස් පැහැදුනි, ස්වකීය හස්තයෙන් මල් ගඳ විලවුන් ථූපයට පූජා කෙළෙමි.
679. “ශක්‍රදේවෙන්ද්‍රය, ඒ කර්මයෙන් මගේ රූපයද ගතියද ඍද්ධියද ආනුභාවයද යම් මලක් පිදීද එයින් විය.
680. “යම් ශීලයක් ඇත්තියක්වීද මේතාක් එය විපාක නොදෙයි. දෙවෙන්ද්‍රය, මගේ ආශාව සකෘදාගාමීවීමය.”
විසාලක්ඛිවිමානං නවමං.
3. 10.
681. “සිත්කලුවූ, රම්‍යවූ පරසතු මදාරා ගස්වල දිව්‍ය මල්දම් ගොතමින් ගී කියමින් සතුටුවෙත්.
682. “නටන්නාවූ ඒ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් ඇසියයුතු මනහර දිව්‍ය ශබ්ද නික්මේ.
683. “නටවන්නාවූ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් යහපත් හොඳ සුවඳවත් දිව සුවඳ හමයි.
684. “කොන්ඩෙහි යම් පළඳනාවක්වේද කය සෙලවෙන කල්හි පඤ්චාංගික තූර්යයෙහි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.
685. “වාතයෙන් සොලවනලද, වාතයෙන් විශේෂයෙන් කම්පාකරනලද මුදුන්මල්කඩක් වේද, පඤ්චාංගික තූර්යයන්හි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.
686. “යහපත් සුවඳ ඇති, යහපත්වූ තොපගේ හිසෙහියම් මල්මාලාවක් වේද, මඤ්ජුසක දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිශාවෙහි සුවඳ හමයි.
687. “ඔබ යහපත් සුවඳ සිඹින්නෙහිය. මනුෂ්‍යත්වය ඉක්මවා සිටි රූප බලන්නෙහිය. විචාරණලද දේවතාව කියන්න මේ කිනම් කර්මයක්හුගේ ප්‍රතිඵලද?”
688. “මම පැහැ විහිදෙන ගිනි රැසක් සේ රත්වූ, සුවඳ ඇති අසෝක මල්දමක් බුදුන්ට පූජාකෙළෙමි.
689. “මම බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනාකරන ලද ඒ කුශලකර්මයකොට පහවූ ශොක ඇත්තී සුවපත්වූවා නිරෝගිවූවා සතුටුවෙමි.”
පාරිච්ඡත්තකවිමානං දසමං.
තුන්වැනි පාරිච්ඡත්තක වර්ගය නිමි.
එහි උද්දානය:
උළාර, උච්ඡු, පල්ලඞ්ක, ලතා, ගුත්තිල, දද්දල්ල, සෙසවතී, මල්ලිකා, විසාලක්ඛී සහ පාරිච්ඡත්තක යන විමානයන්ගෙන් මේ වර්ගය කියනු ලැබේ.