3. 10.
681. “සිත්කලුවූ, රම්‍යවූ පරසතු මදාරා ගස්වල දිව්‍ය මල්දම් ගොතමින් ගී කියමින් සතුටුවෙත්.
682. “නටන්නාවූ ඒ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් ඇසියයුතු මනහර දිව්‍ය ශබ්ද නික්මේ.
683. “නටවන්නාවූ තොපගේ අවයව වලින් සර්වප්‍රකාරයෙන් යහපත් හොඳ සුවඳවත් දිව සුවඳ හමයි.
684. “කොන්ඩෙහි යම් පළඳනාවක්වේද කය සෙලවෙන කල්හි පඤ්චාංගික තූර්යයෙහි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.
685. “වාතයෙන් සොලවනලද, වාතයෙන් විශේෂයෙන් කම්පාකරනලද මුදුන්මල්කඩක් වේද, පඤ්චාංගික තූර්යයන්හි මෙන් ඔවුන්ගේ ශබ්දය ඇසෙයි.
686. “යහපත් සුවඳ ඇති, යහපත්වූ තොපගේ හිසෙහියම් මල්මාලාවක් වේද, මඤ්ජුසක දිව්‍ය වෘක්ෂය මෙන් සියලු දිශාවෙහි සුවඳ හමයි.
687. “ඔබ යහපත් සුවඳ සිඹින්නෙහිය. මනුෂ්‍යත්වය ඉක්මවා සිටි රූප බලන්නෙහිය. විචාරණලද දේවතාව කියන්න මේ කිනම් කර්මයක්හුගේ ප්‍රතිඵලද?”
688. “මම පැහැ විහිදෙන ගිනි රැසක් සේ රත්වූ, සුවඳ ඇති අසෝක මල්දමක් බුදුන්ට පූජාකෙළෙමි.
689. “මම බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනාකරන ලද ඒ කුශලකර්මයකොට පහවූ ශොක ඇත්තී සුවපත්වූවා නිරෝගිවූවා සතුටුවෙමි.”
පාරිච්ඡත්තකවිමානං දසමං.
තුන්වැනි පාරිච්ඡත්තක වර්ගය නිමි.
එහි උද්දානය:
උළාර, උච්ඡු, පල්ලඞ්ක, ලතා, ගුත්තිල, දද්දල්ල, සෙසවතී, මල්ලිකා, විසාලක්ඛී සහ පාරිච්ඡත්තක යන විමානයන්ගෙන් මේ වර්ගය කියනු ලැබේ.
4. මඤ්ජෙට්ඨකවග්ගො
4. 1.
690. “රන්වැලි අතුරන ලද, මදටිය පාට ඇති මනා සංගීත ඇති විමානයෙහි අංග පසින් යුත් තූර්යයන්ගෙන් සිත් අලවා වසන්නෙහිය.
691. “ඒ රන්මයවූ නිර්මිතවූ විමානයෙන් බැස හැම කාලයකම පිපී තිබෙන සල්වනයට වදින්නෙහිය.
692. “දේවතාව, යම් යම් ගසක් මුල සිටින්නෙහිද, උතුම් වෘක්ෂය නැමී මල් මුදන්නේය.
693. “පක්ෂීන් විසින් සෙව්නාලද සල්වනය වාතයෙන් සෙලවෙයි. මඤ්ජුස්සක නම් දිව්‍ය වෘක්ෂයසේ සියලු දිශාවෙහි සුවඳ හමයි.
694. “ඔබ පිරිසිදු සුවඳ සිඹින්නෙහිය. අමානුසිකවූ රූපය බලන්නෙහිය. විචාරණලද දේවතාව කියන්න. මේ කිනම් කුශලකර්මයක ප්‍රතිඵලයක්ද?”
695. “මම මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍ය ස්ත්‍රියක් වූවා ස්වාමිකුලයෙහි දාසියක්වීමි. වැඩහුන් බුදුන් දැක සල්මලින් පිදීමි.
696. “මම මනාකොට කරනලද සල් මලින් කළ මුදුන්මල් කඩක්ද මගේම අත් දෙකින් පැහැදී පූජාකෙළෙමි.
697. “මම බුදුරජාණන් වහන්සේ විසින් වර්ණනාකරන ලද ඒ කුශලකර්මයකොට පහවූ ශොක ඇත්තී සුවපත්වූවා නිරෝගිවූවා සතුටුවෙමි.”
මඤ්ජෙට්ඨක විමානං.
4. 2.
698. “පැහැ විහිදෙන වර්ණයෙන් යුත් ඉතා රතුපාට දිවසළුවක් හැඳි එසේම දිව්‍ය සළුවක් එකාංශකොට පෙරවි, සඳුන් තවරණලද යහපත් ශරීරයක් ඇති මට වඳින ශොභමාන තැනැත්තිය ඔබ කවරෙක්ද?”
699. “නන්දන වනයෙහි ශක්‍රදේවෙන්ද්‍රයාසේ යම් ආසනයක හුන්නේද ඒ ආසනය මහාර්ඝවූ නානාවිධ රත්නයෙන් ලක්ෂණය විසිතුරුය.”
700. “සොඳුර, කිමෙක්ද නුඹ පෙර කිනම් සුචරිතයක් පුරුදුකරන ලද්දේද, දිව්‍යලෝකයෙහි කිනම් කර්මයක්හුගේ විපාකය විඳින්නෙහිද? විචාරනලද දෙවතාව ප්‍රකාශ කරනු මැනව.”