3. 7.
647. “එල්බෙන ගෙඩි ඇති රන්, රිදී දැලින් වැසුණාවූ, නානාප්‍රකාරවූ විසිතුරු තට්ටු ඇති අතිශයින් මනොහරවූ මනාකොට නිමවන ලද්දාවූ තොරණින් යුක්තවූ, විමානය දුටුවෙමි. ශොභනවූ මේ විමාන කැමති දැයින් ගැවසී ගත්තේය.
648. “අහස්හි අන්ධකාරය දුරුකරන්නාවූ දහසක් රැස් ඇත්තාවූ සරත් කාලයේ සූර්යයා මෙන් දසදිසා බබලයි. රාත්‍රියෙහි අහසෙහි දිලියෙන්නාවූ ගින්නක් මෙන් තොපගේ විමානය බබළයි.
649. “අහසෙහි පිහිටි මනොඥවූ මෙය නිතර ඇස් පිනවයි. ශක්‍රපුරය සේ වීණා, මිහිඟුබෙර, කයිතාලම් යන මෙයින් නාද කරවනලද, තොපගේ මේ විමානය සමෘද්ධය.
650. “නෙළුම්, කුමුදු, මානෙල්, සීනිද්ද, වද, කටුකරඬු මල් ඇත්තාහ. මේ විමානය මල් පිපුණ සල් අශොක ආදී නානාප්‍රකාර වෘක්ෂයන්ගේ සුවඳින් යුක්තය.
651. “හල් නම් ගස් හා රට දෙල්, පළොල් යන මේ නම් ඇති ගස්වලින්ද පිපුණාවූ එල්බෙන කුශතණවලින්ද, මැණික් දැල් සමාන අලංකාරවත් යහපත් පොකුණක් තොපට පැමිණ සිටියාය.
652. “ජලයෙහි පිපෙන යම් මල් ජාතියක් ඇද්ද, ගොඩ බිමෙහිවූ යම් වෘක්ෂ ජාතියක් ඇද්ද, මනුෂ්‍යවූ අමනුෂ්යවූ, දිව්‍යවූ යම් සම්පත්තියක් ඇද්ද සියල්ල ඔබගේ විමනෙහි පහළවී තිබේ.
653. “කිනම් ක්ලෙශ සමනයක ආත්ම දමනයක මේ විපාකයක්ද? කිනම් කර්ම ඵලයකින් මෙහි උපන්නීද, තී විසින් මේ විමානය යම්සේ ලබනලද්දීද, මහත් ඇසක් (නුවණක්) ඇත්තීය. එය වචනයක් පාසා කියනු මැනවි.”
654. “කොස්වාළිහිණි, මොණර, ඇටිකුකුළු, සමූහයා විසින් හැසිරෙනලද දිව්‍යමයවූ ඔබමොබ යන හංස රාජයන්ගෙන් ගැවසීගත් විල්ළිහිණි කොවුලන් ආදී කුරුල්ලන් විසින් නාදකරණ ලදී.
655. “ස්වාමීනි, නොයෙක් දෙව්රුක් හා පුෂ්පයන් සහිත වෘක්ෂයන්ද නන්වැදෑරුම්වූ පළොල්, ජම්බු, අශෝකාදී වෘක්ෂද ඇත්තාවූ මේ විමානය මා විසින් යම් පරිද්දෙකින් ලබන ලද්දේද, එය නුඹවහන්සේට කියන්නෙමි, අසනු මැනව.
656. “ස්වාමීනි, ශ්‍රේෂ්ඨ මගධ රටට පෙරදිගින් නාලක නම් ගමක් ඇත්තේය. ඒ නුවර ලේලියක්වීමි, එහිදී මා සෙසවතියයි දැනගත්තාහුය.