3. පර්යංක විමාන කථාව
308. “මහත් ආනුභාව ඇති දේවිනි, මැණික්, රත්රන්වලින් විසිතුරුවූ මල් විසිරවූ මහත් උතුම් පර්යංකයවූ ඇඳෙන ලොකු කුඩා ඍද්ධින් කරමින් සිටින්නෙහිය.
309. “ඔබගේ මේ දිව්‍යාංගනාවෝ හාත්පසින් නටත්, ගී කියත්. සතුටුවෙත්. මහත් ආනුභාව ඇති දිව්‍ය ඍද්ධියට පැමුණුනෙහිය. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෝද, කිනම් කරුණකින් මෙසේ දිළිසෙන ආනුභාව ඇත්තීද ඔබගේ පැහැය සියලු දිශාවෙහි බබළයි.
310. “මනුෂ්‍යයන් අතරෙහි නියම මනුෂ්‍යයෙක් වූ මම පොහොසත් ගෙදරක ලේලියක්වීමි. ක්‍රොධ නොකරන ස්වාමියාගේ අදහස් අනුව පවතින පොහෝදා සිල්රැකීමෙහි අප්‍රමාද තැනැත්තියක්වීමි.
311. “මනුෂ්‍යවූ, ළදරුවූ, පවුකාරියක්වූ මම ප්‍රසන්න සිතින් ස්වාමියා සතුටු කෙළෙමි. රෑ දාවල් දෙක්හි හිතට අනුව හැසුරුණු මම පෙර සිල්වත්වීමි.
312. “සොරකම් නොකරන්නී සතුන්මැරීමෙන් වෙන්වූවා පිරිසිදු ශරීර ඇත්තී, පිරිසිදු බඹසර ඇත්තී, මත්පැන් නොබොන්නී, බොරුද නොකියමි. ශික්ෂාපදයන් සපුරා රැක්කෙමි.
313. “මම තුදුස්වක් දිනයෙහිද, පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද පොහොය දෙපස දිනයෙහිද පැහැදුන සිතින් අංග අටකින් යුත් ශීලය අනුව හැසුරුනෙමි. සතුටු සිතින් පොහෝදා සිල්රැකීමි.
314. “මේ ශ්‍රේෂ්ඨ ආර්ය අෂ්ටාංගයෙන් යුත් සැප විපාක ඇති කුශලයක් සමාදන්ව ස්වාමියා කෙරෙහි යහපත්ව පැවැත්තීමි. පෙර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් වූයෙමි.
315. “මනුෂ්‍යලෝකයෙහි මෙබඳු විශේෂ ආනුභාව ඇති කුශලකර්මයක් කොට ශරීරයාගේ බිඳීමෙන් පරලොව දිව්‍ය ඍද්ධියට පැමිණ සුගතියට පැමිණියෙමි.
316. “යහපත්වූ ශ්‍රේෂ්ඨ ප්‍රාසාදයවූ විමානයෙහි දිව්‍ය සමූහයා විසින් පිරිවරණලද්දී ස්වකීය ශරීර, ලෝකය ඇති දිව්‍යසමූහයා දිව්‍ය විමානයට පැමිණි මා රමණය කරත්.”
පල්ලඞ්කවිමානං තතියං.
4. ලතාවිමාන කථාව
317. “උත්තම දෙවතාවූ ලතාද සජ්ජාද, ශ්‍රීමත් දිව්‍ය රාජවරයාගේ අච්චිමුඛීද, සුතාද, වෛශ්‍රවණ රජුගේ දූ වූ රාජිමතී ද ධර්ම ගුණවලින් බබලන්නේය.
318. “පස්දෙනෙක් වූ ස්ත්‍රීහු සිහිල් දිය ඇති, ක්‍ෂේමවූ, උපුල් මල් ඇති නදියට නහනු පිණිස එහි ගියහ. ඒ දෙවතාවෝ එහි නා, රමණය කොට, නටා, ගායනා කොට, සුතා නම් දෙව්දුව ලතා දෙව්දුවට (මෙසේ) කීවාය.”