1. උළාර විමාන කථාව
286. “දිව්‍යංගනාවෙනි, තොපගේ ශරීර වර්ණය හා යසස ශ්‍රේෂ්ඨය, සියලු දිශා බබුළුවයි. ස්ත්‍රිහුනටත් අලංකාරවත් දිව්‍යපුත්‍රයෝ (ඔබ පිරිවරා) නටති, ගායනා කරත්.
287. “දෙවතාව, ඔබට පූජා පිණිස (පිරිවර) සතුටු වෙති, පිරිවරා සිටිති. මනාව දැකුම් ඇති ස්වර්ණමය විමාන ඔබගේය.
288. “සියලු කාමයන්ගෙන් සමෘද්ධවූ, නුඹ ඔවුන්ට අධිපතිය. මනාව උපන්නියක් වෙහිය. මහත් ආනුභාවයට පැමිණියෙහිය. දෙවසමූහයා මැද ප්‍රමොද වන්නෙහිය. විචාරණ ලද දෙවතාව කියනු මැනව. මේ ඵලය කිනම් කර්මයක්හුගේද?”
286. “කුමන පිනකින් ඔබට මෙබඳු වර්ණයක් වීද? කුමන පිනකින් මෙහි සම්පත් සමෘද්ධ වේද? සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් වෙද්ද, (ඒවා) ඔබට උපදිත්.”
287. “මහත් ආනුභාව ඇති දේවිය, ඔබ විචාරමි. මනුෂ්‍යවූවා කිනම් පිනක් කළෙහිද? කිනම් පිනකින් මෙසේ දිලිසෙන ආනුභාව ඇත්තීද? ඔබගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.”
288. “මුගලන් තෙරුන් විසින් විචාරන ලද ඒ දෙවතාව සතුටු සිත් ඇත්තී, යම් කර්මයක මේ ඵලය වීද, (එම) ප්‍රශ්නයට පිළිතුරු දුන්නාය.”
289. “පූර්ව ජාතියෙහි මම මනුෂ්‍ය ලෝකයෙහි මිනිසුන් අතර මනුෂ්‍යයෙක් වූයෙමි. දුශ්ශීල කුලයෙක්හි අශ්‍රද්ධාවත් තද මසුරන් කෙරෙහි ලේලියක් වීමි.
290. “හැමකල්හි ශ්‍රද්ධාවත්වූවා සීලයෙන් යුක්ත වූවා, බෙදාදීමෙහි යුක්තවූවා පිඬු පිණිස හැසිරෙන්නාවූ නුඹ වහන්සේට කැවුමක් දුනිමි.
291. “එකල්හි මම මෙහි ශ්‍රමණයන් වහන්සේ වැඩි සේකයි නැන්දම්මාට කීවෙමි. පැහැදුණු මම ස්වකීය දෙඅතින් උන්වහන්සේට කැවුම් දුන්නෙමි.”
292. “ස්ත්‍රිය, නුඹ නොහික්මුණු තැනැත්තියක මා විචාරන්නට නොකැමැත්තීවෙහි. එසේ වීනම් ශ්‍රමණයන් වහන්සේට මම දෙමියි මට නැන්දම්මා බැන්නාය.
293. “ඉක්බිති මට නැන්දා කිපියේ මොහොලින් ගැසුවාය. මගේ උකුළු ඇටය කැඩුණේය. බොහෝ කලක් ජීවත්වන්ට නොහැකිවීමි.
294. “ඒ මම ශරීරයාගේ බිඳීමෙන් ඉන් චුතවූවා (දුකින්) මිදුනී. තව්තිසා වැසි දෙවියන් හා සහවාසයට (ගොස්) උපන්නෙමි.
295. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
296. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.”
උළාරවිමානං පඨමං.
2. උච්ජු දායිකා විමාන කථාව
297. “දෙව් ලෝ සහිත පෘථිවිය අලංකාර කොට චන්ද්‍ර සූර්යයන්ගේ පාටින්ද කීර්තියෙන්ද තෙජසින්ද බ්‍රහ්මයාටද තව්තිසා දෙව්ලොව ශක්‍රයා සහිත දෙවියන්ටද වඩා බබලන්නෙහිය.
298. “දෙවතාව, උපුල් මල් දරන්නාවූ මලින් හාත්පසින් වෙලුනාවූ රන්වන් සමක් ඇති අලංකාර උතුම් වස්ත්‍ර දරන යහපත් දෙවතාව මා වඳින්නෙහිය. ඔබ කවුද?”
299. “පෙර ජාතියෙහි මනුෂ්‍යවූ තමා කිනම් කර්මයක් කරණ ලද්දේද, දානයක් පුරුදු කරණ ලද්දේද, නැවත ශීලයක් රකින ලද්දේද, යසසින් යුක්තවූවා කුමක් කොට සුගතියේ උපන්නීද විචාරන ලද්දී මේ කිනම් කර්මයක ඵලයක්දැයි කියව.”
300. “ස්වාමීනි, දැන් ඔබවහන්සේ මේ ගමට පිඬු පිණිස හැසුරුනේ අපේ ගෙදරටම පැමිණියේය. ඒ අවස්ථාවෙහි නුඹවහන්සේ කෙරෙහි පැහැදුන සිතින් මහත් ප්‍රීතියෙන් උක් කැබෙල්ලක් දුනිමි.
301. “පසුව නැන්දම්මාද ‘ස්ත්‍රිය, මට නොකියා’ කොහි උක්ගස් දැමූයෙහිදැයි’ ඇසීය. ‘මම ඉවත නොදැමීමි, නොකෑවෙමි, ශාන්ත භික්ෂුවකට දුන්නෙමියි’ කීවෙමි.