2. 4.
193. “එම්බා සැඩොල් මැහැල්ල, යසස් ඇත්තා වූ ගෞතමයන් වහන්සේගේ පා වඳින්න මුනීන්ට ශ්‍රේෂ්ඨවූ උන්වහන්සේ තොපටම අනුකම්පා පිණිස සිටිසේක.
194. “ඉෂ්ට අනිෂ්ට අරමුණු කෙරෙහි තාදී ගුණයෙන් යුත් රහතන් වහන්සේ කෙරෙහි සිත පහදව, ඉක්මනට දොහොත් බැඳ, වඳින්න. ඔබගේ ජීවිතය ස්වල්ප කාලයක් පවත්නේය,
195. “අන්තිම ශරීරය දරන වඩන ලද ආර්ය මාර්ගය ඇති මුගලන් මහ තෙරුන් වහන්සේ විසින් මෙහෙයවන ලද සැඩොලිය යසස් ඇති ගෞතමයන් වහන්සේගේ පා වැන්දාය.
196. “අඳුරෙන් සූර්යයාවූ බුදුන්ට නමස්කාර කරන්නාවූ ඇඳිලි බැඳ සිටියාවූ ඒ චණ්ඩාලිය දෙනක් ඇන මැරුවාය.
197. “අරණ්‍යයක තනිව වසන මුගලන් තෙරුන් වෙත දිව්‍යසම්පත් ලැබූ තැනැත්තී පැමිණ මහානුභාව සම්පන්න වීරයන් වහන්ස, ක්ෂය කළ ආශ්‍රව ඇති පහවූ රජස් ඇති තෘෂ්ණා රහිත හුදකලාව අරණ්‍යයෙහි සිටින ඔබට මහත් ආනුභාව ඇති දිව්‍ය ඍද්ධියට පත්වූ මා වඳිමි.
198. “යහපත් දෙවතාව, රන්වන්වූ දිලිසෙන්නාවූ මහත් යසස් ඇති නොයෙක් ලෙස විසිතුරු විමනකට නැගී දිව්‍යාංගනාවන් පිරිවරා මා වඳින්නාවූ ඔබ කවරෙක්ද?
199. “පින්වතුන් වහන්ස, නුඹවහන්සේ විසින් මෙහෙයවන ලද චණ්ඩාල මැහැල්ලවූ මම අර්හත්වූ ගෞතම බුදුන්ගේ ශ්‍රී පාද යුගල වැන්දෙමි.
200. “ඒ මම සිරිපා වැඳ චණ්ඩාල ජාතියෙන් චුතවූවාය. සර්වප්‍රකාරයෙන් යහපත්වූ නදුන් උයනෙහි විමනෙක උපන්නෙමි.
201. “දිව්‍යාප්සරාවන් ලක්ෂයක් පෙරටුකොට සිටියි. මම ඔවුන්ට වර්ණයෙන්ද ආනුභාවයෙන්ද ආයුෂයෙන්ද ශ්‍රේෂ්ඨය. උතුම්ය.
202. “ස්වාමීනි, සම්‍යක් ප්‍රඥාවෙන් යුත් බොහෝ යහපත් දේ කරණ ලද සිහි ඇත්තාවූ මා විසින් ලෝකයෙහි කාරුණිකවූ මුනිවූ නුඹවහන්සේ වැඳීමට පැමිණියෙමි.
203. “උපකාර සැලකීමෙන් කෙළෙහිගුණ දන්නාවූ චණ්ඩාලිය මෙය කියා රහතන් වහන්සේගේ පා වැඳ එහිම අතුරුදහන් වූවාය.”
චණ්ඩාලිවිමානං චතුත්ථං.
2. 5.
204. “දිව්‍යාංගනාව, නිල් රන්වන්, ලේවන්, සුදු, ළා රතු, මිශ්‍ර වර්ණය ඇති ලොකු කුඩා පාට ඇති මල් රොනින් ගැවසී ගත්,
205. “මදාරා මල් වලින් මාලාවක් දරන්නෙහිය. බබලන්නෙහිය. මේ දෙව්ලොව සෙසු දෙවතාවන්ට මෙබඳු මල් ගස් නැත්තේය.
206. “කවර කුශල කර්මයක් කරණකොටගෙන මේ තව්තිසා භවනයෙහි උපන්නීද? දෙවතාවිය මා විසින් විචාරණ ලද මේ ප්‍රශ්නයට පිළිතුරු ප්‍රකාශ කරව, කවර කර්මයක් හුගේ මේ ඵලද?”
207. “ශ්‍රද්ධාවත්ව, යහපත් ආචාර සමාචාර ඇතිව හැම කල්හි බෙදා දීමෙහි ඇලුනු කිම්බිලාවෙහි උපාසිකාවූ යහපත් ස්ත්‍රියයි මා දන්නාහුය.
208. “පැහැදුන සිතින් වස්ත්‍රද ආහාරද සෙනසුන්ද පහන්ද ඍජුවූවන් කෙරෙහි දුනිමි.
209. “තුදුස්වක් දිනයෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද ප්‍රාතිහාර්ය පක්ෂ දිනයෙහිද අෂ්ටාංගයෙන් යුක්තවූ
210. “උපොසථය සමාදන් වීමි. සියලු කාලයෙහිම හික්මීමෙන් යුක්තව සීලය වෙන් වෙන්ව සිතීමෙන් යුක්තව, මාගේ ගෙයි වාසය කෙළෙමි.