4. චතුත්ථ පීඨ විමාන කථා
23. “යහපත් වස්ත්ර ඇති, අඳිනලද මල්මාලා සහිත සිතූ කෙණෙහි කැමැති තැනට ගමන් කරණ රන්වන් මහත් අලංකාර කළ පුටුව වලාකුල විදුලියකින් මෙන් බබලයි.
24. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්යානුභාවයක් පහළවේද, සිතට ප්රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
25. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
26. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්රකාශ කළාය.
27. “යම් හේතුවකින් මම දිලිසෙන ආනුභාව ඇත්තීද මේ මාගේ ස්වල්ප කුශල කර්මයක විපාකයයි. මම පූර්ව ජාතියෙහි මනුෂ්යලෝකයෙහි මනුෂ්යයන් අතර මනුෂ්යයෙක් වූයේ වෙමි.
28. “අතිශයින් ප්රසන්න, නොකැළඹුණු කෙලෙස් රජස් නැති භික්ෂුවක් දුටිමි. උන්වහන්සේට පැහැදුනාවූ මම ස්වකීය අත්දෙකින් පුටුවක් දුනිමි.
29. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
30. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්රකාශ කරමි. මනුෂ්යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
චතුත්ථපීඨවිමානං චතුත්ථං.
5. කුඤ්ජර විමාන කථාව
31. “එම්බා දෙවතාදුව තිගේ මේ උතුම් වාහනවූ නොයෙක් මැණික්වලින් කළ සැරසීම් ඇති දර්ශනීයවූ, වෙගයෙන් යුත් බලසම්පන්න, ආකාශචාරීවූ හස්ති රාජයෙක්වේද, ඔහු-
32. “පද්මයක්සේය, පියුම් පෙති වැනි ඇස් ඇත්තේය, පියුම් හා මහනෙල්මල් ප්රභාව දරයි, පියුම් රෙණුයෙන් වැගුරුණු ශරීර ඇත්තේය, රන්නෙලුම් මල්දම් ඇත්තේය.
32. “පද්මයක්සේය, පියුම් පෙති වැනි ඇස් ඇත්තේය, පියුම් හා මහනෙල්මල් ප්රභාව දරයි, පියුම් රෙණුයෙන් වැගුරුණු ශරීර ඇත්තේය, රන්නෙලුම් මල්දම් ඇත්තේය.
33. “තවද ඇත් තෙම යනමග පියුම් පිපෙයි. පියුම් පතින් අලංකාරය, සිටීම රම්යය, නොහැපීම් ඇත්තේය. ප්රමාණ ගමන් ඇත්තේය.
34. “යන්නාවූ ඔහුගේ රන්මිණිගෙඩි ඇලුම් උපදවන ශබ්ද ඇත්තේය. පඤ්චංගික තූර්ය ඝොෂාවක් මෙන් කර්ණ රසායනව ඇසෙයි.
35. “ඒ ඇත්රාජයාගේ කඳෙහි ශොභන වස්ත්ර ඇති අලංකාරවූ ඔබ මහත් දිව්යාංගනා සමූහයා වර්ණයෙන් ඉක්ම බබළන්නෙහිය.
36. “තොප දුන් දානයක මේ ප්රයෝජනද, නොහොත් සීලයක ප්රතිඵලද, නැතහොත් වැඳීමක ප්රතිඵලද, විචාරණ ලද මට ඒ කාරණය කියන්න
37. මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ විසින් විචාරණ ලදුව සතුටුවූ දෙවතාතොමෝ ඒ කර්මයාගේ මේ ප්රයෝජනය ප්රකාශ කළාය.
38. “ධ්යාන කරණ ධ්යානයෙහි ඇලුන ගුණවත් සත් පුරුෂයකු (සැරියුත් තෙරුන්) දැක වස්ත්ර ඇතුරූ මල් විසිරැවූ අස්නක් දුන්නෙමි.
39. “මම අර්ධ නෙළුම්මල් මාලාවන් ඇති ආසනය හාත්පස පියුම් වැසි වස්නාසේ සියතින් මල්පෙති විසුරුවූයෙමි.