5. කුඤ්ජර විමාන කථාව
31. “එම්බා දෙවතාදුව තිගේ මේ උතුම් වාහනවූ නොයෙක් මැණික්වලින් කළ සැරසීම් ඇති දර්ශනීයවූ, වෙගයෙන් යුත් බලසම්පන්න, ආකාශචාරීවූ හස්ති රාජයෙක්වේද, ඔහු-

32. “පද්මයක්සේය, පියුම් පෙති වැනි ඇස් ඇත්තේය, පියුම් හා මහනෙල්මල් ප්‍රභාව දරයි, පියුම් රෙණුයෙන් වැගුරුණු ශරීර ඇත්තේය, රන්නෙලුම් මල්දම් ඇත්තේය.
33. “තවද ඇත් තෙම යනමග පියුම් පිපෙයි. පියුම් පතින් අලංකාරය, සිටීම රම්‍යය, නොහැපීම් ඇත්තේය. ප්‍රමාණ ගමන් ඇත්තේය.
34. “යන්නාවූ ඔහුගේ රන්මිණිගෙඩි ඇලුම් උපදවන ශබ්ද ඇත්තේය. පඤ්චංගික තූර්ය ඝොෂාවක් මෙන් කර්ණ රසායනව ඇසෙයි.
35. “ඒ ඇත්රාජයාගේ කඳෙහි ශොභන වස්ත්‍ර ඇති අලංකාරවූ ඔබ මහත් දිව්‍යාංගනා සමූහයා වර්ණයෙන් ඉක්ම බබළන්නෙහිය.
36. “තොප දුන් දානයක මේ ප්‍රයෝජනද, නොහොත් සීලයක ප්‍රතිඵලද, නැතහොත් වැඳීමක ප්‍රතිඵලද, විචාරණ ලද මට ඒ කාරණය කියන්න
37. මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ විසින් විචාරණ ලදුව සතුටුවූ දෙවතාතොමෝ ඒ කර්මයාගේ මේ ප්‍රයෝජනය ප්‍රකාශ කළාය.
38. “ධ්‍යාන කරණ ධ්‍යානයෙහි ඇලුන ගුණවත් සත් පුරුෂයකු (සැරියුත් තෙරුන්) දැක වස්ත්‍ර ඇතුරූ මල් විසිරැවූ අස්නක් දුන්නෙමි.
39. “මම අර්ධ නෙළුම්මල් මාලාවන් ඇති ආසනය හාත්පස පියුම් වැසි වස්නාසේ සියතින් මල්පෙති විසුරුවූයෙමි.
40. “ඒ කුශල කර්මයාගේ මෙබඳුවූ මේ ඵලයයි, මම දෙවියන් විසින් කරණ සත්කාරවලින් පුදන ලද්දීමි.
41. “යමෙක් ඒකාන්තයෙන් යහපත් කොට කෙලෙසුන්ගෙන් මිදුන සන්සුන් සිත් ඇති බ්‍රහ්මචාරීන්ට පැහැදුනේ අස්නක් දෙන්නේද, හේ මා මෙන් සතුටු වන්නේය.
42. “එබැවින් අභිවෘද්ධිය කැමති උසස් බව බලාපොරොත්තු වන්නන් විසින් අන්තිම සිරුර දරන්නවුන්ට ආසන දිය යුතුය.”
කුඤ්ජරවිමානං පඤ්චමං.
6. පඨම නාවා විමාන කථාව
43. “දෙවතාවෝ රන් සෙවෙලිකරණලද නැවට නැගසිටින්නෙහිය. පොකුණෙහි ජල ක්‍රීඩාවට බසින්නෙහිය. පියුම් අතින් කඩා ගන්නෙහිය.
44. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
45. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
46. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළාය.
47. “මම පූර්ව ජාතියෙහි මනුෂ්‍යයන් අතරෙහි මනුෂ්‍ය ධර්මයෙහි පිහිටි විද්‍යාමාන මිනිසුන්ට අයත්ව මිනිස් ලොව ඉපද ත්‍රස්ත පිපාසිතවූ ක්ලාන්තවූ භික්ෂූන් දැක නැගිට පානයට පැන්දුන්නෙමි.
48. “යමෙක් ක්ලාන්තවූ පිපාසයෙන් යුක්තවූවන්ට නැගිට බීමට පැන් දෙන්නෙද ඔහුට බොහෝ පියුම් ඇති ශීතල ජලය ඇති බොහෝ මල් ඇති නදීහු පහළවෙත්.
49. “සිහිල්දිය ඇති වැලි විසුරුණු, පිපී සිටි අඹ සල් තිලක ජම්බු ඇසල පළොල් ආදීන් (ඉවුරෙහි) ඇති නදීහු සෑම කල්හි ඔහු පිරිවරා සිටිත්.