1. 16.
136. “යොදන ලද අතිශයින් අලංකාරවූ යට බැලු ඇස් ඇති ශීඝ්‍රගමන් ඇත්තාවූ බලවත් වේගයෙන් යුක්තවූ, අසුන් ඇති පන්සියයක් රථයෝ ඔබට මනාව නිර්මිතවූහ. රියැදුරන් විසින් මෙහෙයවනලද අශ්වයෝ ඒ අනුවයත්.
137. “දිලියෙන ගින්න ජලය මෙන් බබුළුවමින් ඕතොමෝ අලංකාරවූවා උතුම් රියෙහි සිටී. සිහින් ශරීර ඇත්තීය, අලාමක දැකුම් ඇත්තීය, කවර නම් යොනියක සිට තථාගතයන් කරා එළැඹුණ දැයි මේ කාරණය අසමි.”
138. “කාමයෙන් අගපත් තැන් අතරින් යමක් අනුත්තරයයි කියත්ද, දෙවතාවෝ මවමින් රමණය කරත්ද? ඒ කයින් විහිදෙන කැමති විය යුතු වර්ණ ඇති අප්සරාවක් (දෙවඟනක්) වූ මම තථාගතයන් වඳින්නට මෙහි ආමි.”
139. “කිම ඔබ පෙර මේ සස්නෙහි පින් කළෙහිද? කවර හෙයින් ඔබ පමණ නැති යසස් ඇත්තීව සැපයෙන් වැඩුණීව වෙසෙහිද? ඔබට ආකාශ ගාමීවූ ඉතා උසස් ඍද්ධිහු වෙත්. තීගේ පැහැයද දස දිගුන් බබුළුවයි.
140. “දෙවතාව, ඔබ දෙවියන් විසින් පිරිවරන ලද්දී සත්කාර කරන ලද්දී, වෙහිය. කොතැනින් චුතව දෙව් ලොවට ගියාද? ඔබ කාගේ වචනය කරන්නීද? කාගේ අනුශාසනය ඇත්තීද? ඉදින් බුද්ධ ශ්‍රාවිකාවක් නම් ඔබ මට කියව.”
141. “මා පර්වත අතරවූ මනාව මවනලද උතුම් නගරයවූ රජගහවෙහි ශ්‍රීමත්වූ රාජොත්තමයාගේ පරිචාරිකාවක්වූ නැටීමෙහි හා ගැයීමෙහි ඉතා මනාව හික්මුණු (උගත්) සිරිමා යැයි දත්හ.
142. “ඍෂිවරයන්ට මහොත්තමවූ, හික්මිය යුත්තන් හික්මවන්නාවූ සර්වඥ තෙම සමුදය හෙවත් තෘෂ්ණාව, දුක අනිත්‍යතාව නැවත පහළවීමක් නැති හෙවත් අසංඛතවූ, දුක නැති කිරීමෙන් සුස්ථිරවූ නොවක්වූ, කල්‍යාණ මාර්ගයවූ මේ මග දේශනා කළ සේක.
143. “මම තථාගතයන්ගේ ධර්මයවූ නැවත නැවත පහළ වීම් නැති, නොමැරෙන පදය අසා ශීලයන්හි අතිශයෙන් ඉතා සංවරවූවාවීමි. නරොත්තම බුදුන්ගේ වචනයවූ ධර්මයෙහි පිහිටියක් වීමි.
144. “මම ඉතා උසස් තථාගතයන් දෙසනලද, නැවත නැවත පහළවීම නැති, විරාග පදය දැන එහිම මම කෙලෙස් සමථයෙන්වූ ධ්‍යානය ස්පර්ශ කෙළෙමි. ඒ ම මගේ උත්තම ස්වභාවය විය.
145. “මම උතුම් නිවනවූ විශේෂනය (ගුණය) ලබා එකාන්තවූවා, ධර්මාභිසමයෙහි (සෝවාන් පෙලෙහි) පිහිටා සැක නැත්තී බොහෝ ජනයා විසින් පුදන ලද්දී ඒ මම බොහෝවූ ක්‍රීඩා රතිය විඳිමි.
146. “මෙසේ මම නිවන් දිශාවෙහි දෙවතාවක් වෙමි. ඉතා උසස් බුදුන්ගේ ශ්‍රාවිකාවක්මි. ධර්මය දක්නී පළමු ඵලයෙහි පිහිටියා සෝවාන්වූවා මට දුගතියක් නැත.