1. 15.
124. “එම්බා දෙවතා දුව, ඔසධී තාරකාව දසදිශා එකාලොක කරයිද, එමෙන් රම්‍යවූ වර්ණයෙන්ද ඒ ඔබ සිටින්නෙහිය.
125. “මෙබඳු වර්ණ සම්පත්තියක් පෙරමිනිස් ලොවදී කෙබඳු කුශලයක් කොට තී ලබන ලද්දේද, කිනම් කාරණයකින් තීට මෙබඳු දිව්‍යානුභාවයක් පහළවේද, සිතට ප්‍රියවූ යම්කිසි භොග කෙනෙක් උපදිත්?”
126. “ආනුභාසම්පන්න දෙවතාවෙනි, ඔබ විචාරමි. මනුෂ්‍යව සිටියදී කිනම් පිනක් කෙළෙහිද, තොපගේ ශරීර වර්ණය සියලු දිශා එලිය කරයි. කවර හෙයින් මෙවැනි දිලිසෙන ආනුභාව ඇත්තෙහිද,
127. “මොග්ගල්ලාන තෙරුන් විසින් විචාරණලද සතුටු සිත් ඇත්තාවූ ඒ දෙවතාතොමෝ ප්‍රශ්න වශයෙන් විචාරණ ලද්දී යම් කර්මයකගේ මේ විපාකයද එය ප්‍රකාශ කළාය.
128. “ගෙයි වාසය කරන්නාවූ මා විසින් ඊර්ෂ්‍යාවද මසුරු බවද නැවත ගුණමකු බවද නොකෙළෙමි. ක්‍රොධ නොකරන්නී ස්වාමී පුත්‍රයාට පැවතිය යුතු සියලු ගුණයෙන් යුක්තව වාසය කෙළෙමි.
129. “තුදුස්වක් දිනයෙහිද පසළොස්වක් දිනයෙහිද පක්ෂය සම්බන්ධ අටවක් දිනයෙහිද ප්‍රාතිහාර්ය පක්ෂ දිනයෙහිද අෂ්ටාංගයෙන් යුක්තවූ
130. උපොසථය සමාදන් වීමි. සියලු කාලයෙහිම හික්මීමෙන් යුක්තව සීලය වෙන් වෙන්ව සිතීමෙන් යුක්තව, මාගේ ගෙයි වාසය කෙළෙමි.”
131. “ප්‍රාණඝාතයෙන් වෙන්වූවා බොරු කීමෙන් හික්මුණු සොරකම් කිරීමෙන්ද පරදාර සේවනයෙන්ද සුරාපානය කිරීමෙන්ද දුරුවූවා වෙමි.
132. “පඤ්ච ශික්ෂා පදයෙහි ඇලුනෙමි. ආර්යසත්‍යය දැනීමෙහි දක්ෂවීමි. යසස් ඇති පසැස් ඇති ගෞතමයන් වහන්සේගේ උපාසිකාවක් වීමි.
133. “එසේවූ මම යහපත්වූ ශීලයෙන්ද යුක්තවීමි. එසේම කීර්තියෙන්ද කීර්තිමත් වීමි. කරදර නැති සැප ඇත්තියක්ව ස්වකීය පින අනුභව කරමි.
134. “ඒ හේතුවෙන් මට මෙබඳු වර්ණයක්වේ. ඒ හේතුවෙන් මට මෙහි සමෘද්ධියවේ. සිතට ප්‍රියවූ යම්කිසි සම්පත් ඇත්ද, ඒවා මට උපදිත්.
135. “මහත් ආනුභාව ඇත්තාණනි, ඔබට ප්‍රකාශ කරමි. මනුෂ්‍යවූවා, යම්පිනක් කළාද එහෙයින් මෙසේ බබලන ආනුභාව ඇත්තී වෙමි. මාගේ වර්ණයද සියලු දිශා බබුළුවයි.
136. “ස්වාමීනි, මාගේ වචනයෙන් භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳින්න. ‘ස්වාමීනි, උත්තරා නම් උපාසිකාව භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා හිසින් වඳීයයි” කියන්න. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට යම් මේ ශ්‍රමණ ඵලයක් ප්‍රකාශ කරණ සේක් පුදුමයක් නොවේ. භාග්‍යවතුන් වහන්සේ උත්තරාව සකෘදාගාමීවූ උපාසිකාවක්යයි ප්‍රකාශ කළ සේක.”
උත්තරාවිමානං පන්නරසමං.
1. 16.
136. “යොදන ලද අතිශයින් අලංකාරවූ යට බැලු ඇස් ඇති ශීඝ්‍රගමන් ඇත්තාවූ බලවත් වේගයෙන් යුක්තවූ, අසුන් ඇති පන්සියයක් රථයෝ ඔබට මනාව නිර්මිතවූහ. රියැදුරන් විසින් මෙහෙයවනලද අශ්වයෝ ඒ අනුවයත්.
137. “දිලියෙන ගින්න ජලය මෙන් බබුළුවමින් ඕතොමෝ අලංකාරවූවා උතුම් රියෙහි සිටී. සිහින් ශරීර ඇත්තීය, අලාමක දැකුම් ඇත්තීය, කවර නම් යොනියක සිට තථාගතයන් කරා එළැඹුණ දැයි මේ කාරණය අසමි.”