8. 6.
පාටලිගාමිය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්යවතුන් වහන්සේ මගධරට සැරිසරන සේක් පළොල්ගම යම්තැනෙක්හිද, එගමට වැඩිසේක. පළොල්ගම්වැසි උපාසකයෝ “භාග්යවතුන් වහන්සේ පළොල් ගමට වැඩිසේක්ය”යි ඇසුවාහුමය. ඉක්බිති පළොල් ගම්වැසි උපාසකයෝ භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියාහුය, පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක් පැත්තක හුන්හ. එක්පැත්තක හුන්නාවූම පළොල්ගම් වැසි උපාසකයෝ භාග්යවතුන් වහන්සේට මේ කරුණ කීහ. “ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ අපගේ ආවසථාගාරය (අමුත්තන්ගේ වාසය පිණිස කළ ගෙය) ඉවසා වදාරණ සේක්වායි, භාග්යවතුන් වහන්සේ නිශ්ශබ්දයෙන් ඉවසා වදාළසේක.
2. ඉක්බිති පළොල් ගම් වැසි උපාසකයෝ භාග්යවතුන් වහන්සේගේ ඉවසීම දැක හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ආවසථාගාරය යම්තැනෙකද එහි පැමිණියාහුය. පැමිණ ආවසථාගාරයෙහි ඇතිරිය යුතු සියළු තැන් අතුරා අසුන් පණවා කදාමිණියෙන් කළ මහ දිය සැල් තබ්බවා පහන් දල්වා භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එක්පැත්තක සිටියාහුය. එක්පැත්තක සිටියාවූම පළොල්ගැමි උපාසකයෝ භාග්යවතුන් වහන්සේට මේ කාරණය කීහ: “ස්වාමීනි, ආවසථාගාරය ඇතිරියයුතු හැමතැන (කළාල) අතුරා අසුන් පණවන ලද්දාහුය, දියසැළවල් තබන ලද්දාහ, තෙල් පහන් දල්වන ලද්දේය ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ යමකට කල්දන්නාසේක්ද දැන් එයට කල්වන්නේ යයි”.
3. එකල්හි භාග්යවතුන් වහන්සේ හැඳපොරවා පාත්ර සිවුරු රැගෙන භික්ෂුසංඝයා සමග ආවසථාගාරය යම් තැනෙකද එහි වැඩිසේක. වැඩ පා සෝදා ආවසථාගාරයට ඇතුල්වී පෙරදිගට මුහුණලා වැඩහුන්සේක. භික්ෂු සංඝ තෙමේද පා දෝවා ආවසථාගාරයට වැද පෙරදිගට මුහුණලා භාග්යවතුන් වහන්සේම පිරිවරා වැඩහුන්නේය. පළොල් ගම් වැසි උපාසකයෝද පා සෝදා ආවසථාගාරයට වැද නැගෙනහිර බිත්තිය නිසා භාග්යවතුන් වහන්සේම පිරිවරා බස්නාහිර බලා හුන්හ.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පළොල් ගම් වැසි උපාසකයන් ඇමතූසේක: ගෘහපතියෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තියෙහි මේ පස්දෝෂයෝ වෙත්. කවර පසක්දයත්?
ගෘහපතියෙනි, මේ ලෝකයෙහි බිඳුණු සංවර ඇති දුශ්ශීලතෙම ප්රමාද කාරණයෙන් මහත් සම්පත්හුගේ පිරිහීමට පැමිණෙයි. දුශ්ශීලයාගේ ශීලවිපත්තිය හේතුකොට (වන්නාවූ) මේ පළමුවන දෝෂයවේ.
තවද ගෘහපතියෙනි, ශීලය විනාශවූ දුසිල් පුගුලාගේ ලාමක කීර්ති ශබ්දය පැනනගී. සිල් නැත්තහුගේ ශීල විනාශය හේතුකොට (වන්නාවූ) මේ දෙවන ආදීනවය වේ.
තවද ගෘහපතියනි, ශීල සංවරය නැත්තාවූ දුශ්ශීලතෙම රජ පිරිසකට හෝ බමුණු පිරිසකට හෝ ගෘහපති පිරිසකට හෝ මහණ පිරිසකට හෝ යම් යම් පිරිසකට පැමිණේද, භය ඇත්තෙක්වම පැමිණෙයි, මකු වූයේ වෙයි. දුශ්ශීලයාගේ ශීල විපත්තිය හේතුකොට (වන්නාවූ) මේ තුන්වන දෝෂය වෙයි.
තවද ගෘහපතියෙනි, ශීලය වැනසුණු දුශ්ශීලතෙම අතිශයින් මුළාවූයේ කලුරිය කෙරෙයි. බුන් සිල් ඇති දුශ්ශීලයාගේ ශීල විනාශ හේතුවෙන් මේ සතරවන දෝෂය වේ.
තවද ගෘහපතියෙනි, සිල් බිඳුණු දුශ්ශීලතෙම ශරීරය බිඳීමෙන් මරණින් මත්තෙහි පිනෙන් හෝ සැපයෙන් තොරවූ දුකට පිළිසරණවූ දුෂ්ටවූ කර්මයෙන් උපදින ගතියවූ වැටෙන්නාවූ හෝ වැනසෙන්නාවූ සැනසීමෙක් නැත්තාවූ නරකයෙහි උපදනේය. ශීලය විනාශවූ දුශ්ශීලයාගේ ශීල විපත්තිය හේතුකොට මේ පස්වන දෝෂය වෙයි.
ගෘහපතියෙනි, දුශ්ශීලයාගේ ශීලවිපත්තිය හේතුකොට මේ පස් ආදීනවයෝ වෙත්.
5. ගෘහපතියෙනි, සිල්වත්හුගේ ශීලසම්පත්තිය හේතුකොට මේ පස් අනුසස් කෙනෙක් වෙති. ඒ කවර පසෙක්ද යත්?
ගෘහපතියෙනි, මේ ලෝකයෙහි පිරිසිදුවූද, සම්පූර්ණවූද සිහියෙන් යුත් සිල් ඇති පුද්ගලතෙම අප්රමාදය (එළඹ සිටි සිහිය) හේතුකොට මහත් භොගරාශියට පැමිණෙයි. සිල්වත්හුගේ ශීලසම්පත්තිය හේතුකොට මේ පළමුවන අනුසස වන්නේය.
තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද සම්පූර්ණවූද, ශීලයෙන් යුත් සිල්වතාගේ යහපත් කීර්ති ඝොෂය පැනනගී. සිල්වතාගේ ශීල සම්පත්තිය හේතුකොට මේ දෙවන අනුසස වන්නේය.
තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද, සම්පූර්ණවූද ශීලයෙන් යුත් සිල්වත්තෙම ක්ෂත්රියයන්ගේ පිරිසකට වේවයි බමුණන්ගේ පිරිසකට වේවයි, ගෘහපතියන්ගේ පිරිසකට වේවයි, ශ්රමණයන්ගේ පිරිසකට වේවයි, යම් යම් පිරිසක් කරා පැමිණේද, නිර්භයව පැමිණේ, නොමකු වූයේ වෙයි. සිල්වතාගේ ශීලසම්පත්තිය හේතුකොට මේ තුන්වන අනුසස වන්නේය.
තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද, සම්පූර්ණවූද, ශීලයෙන් යුත් සිල්වත්තෙම සිහිමුළානොවූයේ කලුරිය කෙරෙයි. සිල්වතාගේ ශීල සම්පත්තිය හේතුකොට මේ සිව්වන අනුසස වන්නේය.
තවද ගෘහපතියෙනි, පිරිසිදුවූද සම්පූර්ණවූද ශීලයෙන් යුත් සිල්වත් තෙම කයබිඳී මරණින් මත්තෙහි සොඳුරු ගති ඇත්තාවූ අග්රවූ දිව්යලෝකයට පැමිණෙයි. සිල්වතාගේ ශීලසම්පත්තිය හේතුකොට මේ පස්වන අනුසස වන්නේය.
ගෘහපතියෙනි, සිල් ඇත්තහුගේ ශීලසම්පත්තිය හේතුකොට (වන්නාවූ) මේ පස් අනුසස් වෙත් යයි.
6. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ පාටළිග්රාමවාසී උපාසකයනට රෑ බොහෝ වේලාවක් දැහැමි කතාවෙන් මනාව සිතට ගන්වා උත්සාහ උපදවමින් සිත්සතන් පිරිසිදු කරවා සියලු අයුරෙන් සිත් සතුටුකරවා යැවූසේක “ගෘහපතියෙනි, රාත්රිතොමෝ ඉක්ම ගියාය. යම්ගමනකට තෙපි කල් දන්නහුනම් දැන් ඊට කල්වන්නේයයි”. “එසේය ස්වාමීනි” කියා පළොල් ගම්වැසි උපාසකයෝ භාග්යවතුන් වන්සේගේ වචනය ගිවිස හුනස්නෙන් නැගිට භාග්යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියහ.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ පළොල් ගම්වැසි උපාසකයන් බැහැරගිය නොබෝ කලෙක්හි ශුන්යාගාරයට (ජනයන්ගෙන් හිස්වූ ගෙට) වැඩිසේක.