8. 7.
ද්විධාපථ සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසොල් රට දීර්ඝ මාර්ගයට පිළිපන්සේක, පසුව යන මහණකු වූ ආයුෂ්මත් නාගසමාල තෙරුන් සමග. ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම අතරමග දෙමං සන්ධියක් දුටුයේමය. දැක භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මේ මගය, මේමගින් යම්හ”යි මේ වචනය කීයේය. මෙසේ කීකල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගසමාල තෙරුන්ට “නාගසමාලයෙනි, මේ යායුතු මාර්ගය වෙයි. මේ මාර්ගයෙන් යමු”යි මේ වචනය වදාළසේක. දෙවනුවද ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම භාග්යවතන් වහන්සේට “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මේ යායුතු මාර්ගය වෙයි. මේ මාර්ගයෙන් යමු”යි මේ වචනය කීයේය. දෙවනුවද භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගසමාල තෙරුන්ට “නාගසමාලයෙනි, මේ මාර්ගය වෙයි. මේ මගින් යම්හ”යි මේ වචනය වදාළසේක. තුන්වැනිවත් ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, මේ යායුතු මාර්ගය වෙයි. මේ මාර්ගයෙන් යමු”යි මේ වචනය වදාළසේක. මෙසේ වදාළ කල්හි භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් නාගසමාල තෙරුන්ට “නාගසමාලයෙනි, මේ මාර්ගය වෙයි. මේ මගින් යම්හ”යි වදාළසේක. ඉක්බිති ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම “ස්වාමීනි, භාග්යවතුන් වහන්ස, පාත්ර සිවුරු මෙහි යයි” භාග්යවතුන් වහන්සේගේ පාත්ර සිව්රු බිම තබා ගියේය.
2. එකල්හි වනාහි ඒ මගින් යන්නාවූ ආයුෂ්මත් නාගසමාල ස්ථවිරයන් වහන්සේට අතරමග සොරු නික්ම අවුත් අතින්ද, පයින්ද ගැසූහ. පාත්රයද බින්දාහුය. සඟල සිවුරද ඉරූහ. ඉක්බිති ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම බිඳුනු පාත්රයෙන්ද, කැබලිකොට ඉරනලද සඟළ සිවුරෙන්ද, භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියේය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවුම ආයුෂ්මත් නාගසමාල ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට මේ කරුණ කීයේය: “ස්වාමීනි, ඒ මාර්ගයෙන් යන්නාවූ මට අතරමගදී සොරු නික්ම අවුත් අතින්ද, පයින්ද ගැසූහ. පාත්රයද බින්දාහුය. සඟළ සිවුරද ඉරාදැම්මාහුය.”
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි ඒ කරුණ පහළවන මේ උදන් පහළකෙළේය:
“වෙදයයි කියනලද චතුස්සත්ය ධර්මය ආර්ය මාර්ග ඥානයෙන් අවබෝධ කළාවූ පරතෙරට ගියාවූ පණ්ඩිත වූ සර්වඥයන් වහන්සේ තමහට වැඩ නොදත් මූඪජනයා සමග හැසිරෙනසේක්, එකතැන වසනසේක් මිශ්රවූසේක් කිරි පමණක්ම බොන්නවූ කොස්ලිහිණිතෙම දිය සේ ලාමක දෙය දුරුකරණසේකැ”යි.
8. 8.
විසාඛා සූත්රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි පූර්වාරාම නම්වූ මිගාරමාතු ප්රාසාදයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි මිගාර මාතෘවූ විශාඛා උපාසිකාවගේ ප්රියවූ මනවඩන්නාවූ මිනිපිරී තොමෝ කලුරිය කළා වෙයි. ඉක්බිති මිගාර මාතෘවූ විශාඛා උපාසිකා තොමෝ තෙත සළු ඇත්තී තෙත්වූ ඉස කෙස් ඇත්තී දවල් ඉරමුදුන් වේලෙහි භාග්යවතුන් වහන්සේ යම් තැනෙකද එහි පැමිණියාය. පැමිණ, භාග්යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නාය. එකත්පසෙක හුන්නාවූම මිගාර සිටුහුගේ මව් නම්වූ විසාකා උපාසිකාවට භාග්යවතුන් වහන්සේ මෙය වදාළසේක: ‘එම්බා විශාඛාවෙනි, දවල් ඉරමුදුන් වේලෙහි මෙහි පැමිණෙන්නාවූ තී තෙත් වස්ත්ර ඇතිව තෙත් කෙස් ඇතිව කොහි සිට එන්නෙහිද?’යි.
“ස්වාමීනි, මාගේ ප්රියවූ මනාපවූ මිනිපිරී තොමෝ කලුරිය කළාය. එහෙයින් දවල් ඉරමුදුන් වේලෙහි තෙත් වස්ත්ර ඇත්තාවූ තෙත් කෙස් ඇත්තාවූ මම මෙහි පැමුණුනී වෙමි”යි.
“විශාඛාවෙනි, සැවැත් නුවර යම් පමණ මනුෂ්යයෝ වෙද්ද, එපමණ දරුවන්ද මුනුබුරන්ද තෝ කමැති වන්නෙහි දැ”යි.
“භාග්යවතුන් වහන්ස, මම සැවැත් නුවර යම් පමණ මනුෂ්යයෝ වෙද්ද, එපමණ පුතුන්ද මුණුපුරන්ද කැමැති වන්නෙමි”යි.
2. “විශාඛාවෙනි, කොපමණ බොහෝ මිනිස්සු දවස් පතා සැවැත් නුවර කලුරිය කෙරෙත් දැ”යි.
“ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මනුෂ්යයෝ දසදෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත් නුවර දවස් පතා මනුෂ්යයෝ නවදෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මිනිස්සු අට දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි සැවැත් නුවර දවස් පතා මිනිස්සු සත් දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත් නුවර දිනපතා මනුෂ්යයෝ සදෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, දිනපතා සැවැත් නුවර මනුෂ්යයෝ පස්දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත්නුවර දිනපතා මනුෂ්යයෝ සතර දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි සැවැත්නුවර දිනපතා මනුෂ්යයෝ තුන්දෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි, සැවැත්නුවර දිනපතා මනුෂ්යයෝ දෙදෙනෙක්ද කලුරිය කෙරෙති. ස්වාමීනි සැවැත්නුවර දිනපතා එක් මිනිසෙක්ද කලුරිය කෙරෙයි. ස්වාමීනි, කලුරිය කරන මිනිසුන්ගෙන් සැවැත් නුවර හිස් නොවීයයි.”
‘විශාඛාවෙනි, ඒ කුමැයි සිතන්නෙහිද? කිම? තෝ කිසි කලෙකත් තෙත් නොවූ වස්ත්ර ඇත්තී හෝ තෙත් නොවූ කෙස් ඇත්තී හෝ වෙහිදැයි’
3. “නැත, ස්වාමීනි. ස්වාමීනි, එපමණ බොහෝ පුතුන්ගෙන් හා මුණුබුරන්ගෙන් මට වැඩක් නැත.”
“විශාඛාවෙනි, යම් කෙනෙකුන්ට වනාහි සියයක් ප්රිය වස්තූහු වෙද්ද, ඔවුන්ට සියයක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට අනූවක් ප්රිය වස්තූහු වෙද්ද, ඔවුන්ට අනූවක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට අසූවක් ප්රිය වස්තූහු වෙද්ද, ඔවුනට අසූවක් දුක්වෙත්. යම් කෙනෙකුන්ට සැත්තෑවක් ප්රිය වස්තූහු වෙද්ද, ඔවුනට සැත්තෑවක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට සැටක් ප්රිය වස්තූහු වෙද්ද, ඔවුනට සැටක් දුක් වෙත්. යම් කෙනෙකුන්ට පණහක් ප්රිය වස්තූහු වෙද්ද, ඔවුනට පණහක් දුක් වෙත්.