8. 5.
5. චුන්ද සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකාව කරනසේක් මහබික්සඟන සමග පාවා නම් නුවර යම් දිශාවෙක්හිද ඒ මගට වන්සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පාවා නුවර සමීපයෙහිවූ චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ අඹවන (වෙහෙරෙහි) වැඩවසනසේක.
චුන්ද නම් ස්වර්ණකාර පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකාවෙහි හැසිරෙමින් මහත් භික්ෂු සංඝයා සමග නගරයට පැමිණිසේක් පාවානුවර වෙත වූ මාගේ අම්බවනාරාමයෙහි වැඩවසනසේක්ල’යි ඇසූයේමය. ඉක්බිති ස්වර්ණකාරයාගේ පුත්‍රවූ චුන්දතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මනාකොට වැඳ එකත්පසෙක හිඳගත. එකත්පසෙක හුන්නාවූම සුවන්කරු පුත්වූ චුන්දයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කතාවෙන් (නිවන) මනාව දැක්වූසේක. මනාව උත්සාහ කරවූසේක. මනාව සිත පිරිසිදු කරවූසේක.
ඉක්බිති චුන්ද නම් සුවන්කරුගේ පුත්‍රතෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් ධාර්මික කථාවෙන් මනාව දක්වන ලද්දේ, මනාව ගන්වන ලද්දේ (එහි) උත්සාහ දන්වනලද්දේ (නිර්වාණ ගුණයෙන්) මනාව සතුටු කරවන ලද්දේ “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ බික්සඟන සමග සෙට දවසෙහි මාගේ බත ඉවසනසේක්වායි” භාග්‍යවතුන් වහන්සේට මේ වචනය කීයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දභාවයෙන් ඉවසා වදාළසේක. එකල්හි වනාහි චුන්ද නම් ස්වර්ණකාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණුකොට ගියේය.
ඉක්බිති රන්කරුගේ පුත් චුන්දතෙමේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් සිය නිවසෙහි ප්‍රණීතවූ කැවිලිද, බොජුන්ද බොහෝ මොළොක් සිනිඳු හතු පිළියෙළ කරවා “ස්වාමීනි බත නිමියේය. (දනට) කල් වන්නේ” යයි භාග්‍යවතුන් වහන්සේට කල් දන්වා යැවීය. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුයෙහි හැඳ පොරවා පා සිවුරු රැගෙන භික්ෂු සංඝයා සමග චුන්ද නම් කර්මාර පුත්‍රයාගේ ගෙය යම් තැනෙකද එතැනට වැඩි සේක. වැඩ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. භාග්‍යවතුන් වහන්සේ වැඩහිඳ චුන්ද නම් ස්වර්ණකාරයා අමතා: “චුන්දයෙනි, තොප යම් හතුමද්දවයක් පිළියෙළ කරන ලද්දේද, එයින් මා වළඳව, අන්‍යවූ ඛාද්‍යයක්, භොජ්‍යයක් පිළියෙළ කරණ ලද්දේද, එයින් භික්ෂු සංඝයා වළඳව”යි වදාළසේක.
“එසේය ස්වාමීනි” කියා චුන්ද නම් ස්වර්ණකාර පුත්‍ර තෙම භාග්‍යවතුන් වහන්සේට උත්තරදී පිළියෙළ කළාවූ යම් මොළොක් සිනිඳු හතුවීද, එයින් භාග්‍යවතුන් වහන්සේ වැළඳවීය. පිළියෙළකළාවූ අන් යම් කෑයුතුදැයක් බුදියයුතු දැයක්වී ද, ඒ ඛාජ්‍ය භොජ්‍යයෙන් භික්ෂු සංඝයා වැළඳවීය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ කර්මාර පුත්‍රවූ චුන්දයා අමතා වදාළසේක: “චුන්දයෙනි, තොපගේ යම් මොළොක් සිනිඳු හතු ඉතිරිවීද, ඒ ඉතිරි ඌරු කෑම වළෙක ලවයි (වදාළසේක.) චුන්දයෙනි, යමෙකු විසින් ඒ හතු අනුභව කරනලද්දේ මනාව දිරවීමට යන්නේද, තථාගතයන් වහන්සේහැර මම දෙවියන් සහිතවූ, මරුන් සහිතවූ බඹුන් සහිතවූ ලෝකයෙහි මහණ බමුණන් සහිතවූ දෙවි මිනිසුන් සහිතවූ සත්වප්‍රජාවෙහි එබඳු පුඟුලකු නොමදකිමියි” (වදාළහ.) එසේය ස්වාමීනි, කියා චුන්ද නම් ස්වර්ණකාර පුත්‍රතෙම භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිඥාව දී යම් හතු කෑමක් ඉතිරිවීද, එය වළලා භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන්නාවූම චුන්ද නම් කර්මාර පුත්‍රයාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් (දානානිසංස) මනාව දක්වා, මනාව සිතවිගන්වා මනාව උත්සාහ උපදවා (හැම අයුරෙන්) සිත සතුටු කරවා හුනස්නෙන් නැගිට වැඩිසේක.
ඉක්බිති ස්වර්ණකාර පුත්‍රවූ චුන්දගේ දානය වැළඳූ භාග්‍යවතුන් වහන්සේට රළු විෂභාග රොගයෙක් උපන, දැඩි ගිලන් බැව් ඇත්තාවූ මරුවෙතැ පැමිණවීමට සමත්වූ ලේ අතීසාරය පවත්නීය, එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ සිහිනුවණ ඇතිසේක් නොපෙළෙනසේක් ඉවසා වදාළසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන්ට අඬගා වදාළසේක:- “අනඳ! (එව) යමු,” කුසිනාරා නුවර යම් අතෙකද, ඒ අතට පැමිණෙන්නෙමුයි,” - “එසේය ස්වාමීනි’ කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදින.
“ධෘතිමත්වූ සර්වඥයන් වහන්සේ චුන්දනම් ස්වර්ණකාරයාගේ බත වළඳා ඉතාදැඩිවූ මරණය කෙළවර කොට ඇත්තාවූ රොගය අතිසයින් ස්පර්ශ කෙළසේකැයි මා විසින් අසන ලද්දේය,
සූකරමද්දවය වැළඳූ ශාස්තෘන් වහන්සේට ඉතාබලවත් රොගයෙක් හටගත්තේය, විරේකවන්නාවූ භාග්‍යවතුන් වහන්සේ “මම කුසිනාරා නුවරටයමි”යි වදාළසේක.”