7. 9.
9. උදපාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකා වශයෙන් වඩනාසේක් මහා බික්සඟන සමග ථූන නම් මල්ලයන්ගේ බ්රාහ්මණ ග්රාමය යම් තැනෙක්හිද එතැනට පැමිණිසේක. ථූන නම් ගම්වැසිවූ බමුණු ගැහැවියෝ “පින්වත්නි, ශාක්ය රජුගේ පුත්වූ ශාක්ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්රමණ ගෞතමතෙම මල්ල ජනපදයෙහි චාරිකා කරමින් මහ බික්සඟන සමග ථූන නම් ගමට පැමිණියේල”යි ඇසූවාහුමය. “ඒ නින්දිත මුඩු මහණෝ පැන් නොබොත්වා”යි තෘණරොඩු ගොඩ ගසා ළිං වැසූහ.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා රුක්මුල යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හුන්සේක. වැඩහිඳ වනාහි ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූසේක. “එහෙනම් අනඳ! තෝ මට අර ළිඳෙන් පැන් ගෙන එව”යි වදාළසේක. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙර භාග්යවතුන් වහන්සේට මෙපුවත දැන්වීය: “ස්වාමීනි, දැන් ඒ ළිඳ ථූන ගම්වැසි බ්රාහ්මණ ගෘහපතීන් විසින් ‘ඒ නින්දිත මුඩු මහණහු පැන් නොබොත්වා’යි රොඩුවලින්ද බොල් වියෙන්ද ළිං කට තෙක් පුරවන ලද්දේය.” දෙවැනිවද භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් කැඳවූසේක. “එහෙනම් ආනන්දය, අර ළිඳෙන් පැන් ගෙනඑව”යි වදාළසේක. දෙවැනි වත් ආයුෂ්මත් අනඳ තෙර භාග්යවතුන් වහන්සේට මේ ප්රවෘත්තිය දැනුම් දුන්නේය. තුන් වෙනුවද භාග්යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් කැඳවූසේක. “එහෙනම් ආනන්දය, අර ළිඳෙන් මට පැන් ගෙන එව”යි වදාළසේක. “එසේය ස්වාමීනි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේට පිළිවදන් දී, පාත්රය ගෙන ඒ ළිඳ යම් තැනෙකද එතැනට පැමිණියේය.
3. එකල්හි ඒ ළිඳ ආයුෂ්මත් අනඳ තෙරුන් පැමිණෙත් පැමිණෙත්ම ඒ හැම තණද දහවියාද ළිං කටින් ඉවත්ව නිර්මලවූ නොකැලත්වූ විශේෂයෙන් පෑදුනාවූ දියෙන් ළිං කට තෙක් පිරුණේ ගලා බසින්නාසේ සිටියේය. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙබඳු අදහසෙක් විය: “පින්වත්නි, ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇතිබව මහානුභාව ඇතිබව ආශ්චර්යයි, පුදුමයි. මේ ඒ ළිඳ වනාහි මා පැමිණෙන කල්හි සියලු ඒ තෘණද බොල් වියද ළිං කටින් ඉවත්ව නිර්මලවූ නොකැලඹුනාවූ විශේෂයෙන් ප්රසන්නවූ ජලයෙන් ළිං කට තෙක් පිරුණේ ගලා බස්නාක් මෙන් සිටියේයයි,” පාත්රයෙන් පැන් ගෙන භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්යවතුන් වහන්සේට මේ පුවත කීයේය: “ස්වාමීනි තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව මහානුභාව ඇතිබව ආශ්චර්යය, පුදුමය. ස්වාමීනි, මේ ඒ ළිඳ වනාහි මා පැමිණෙන කල්හි සියලු ඒ තෘණද දහවියාද, ළිං කටින් ඉවත්ව නිර්මලවූ නොකැළඹුනාවූ විශේෂයෙන් ප්රසන්නවූ ජලයෙන් ළිං කට තෙක් පිරී ගියේ ඉතිරයන්නාසේ සිටියේය. භාග්යවතුන් වහන්සේ පැන් පානය කරණ සේක්වා, සුගතයන් වහන්සේ පැන් පානය කරන සේක්වායි”.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළසේක:
“ඉදින් යමකුට හැමදා හැම තන්හිම දිය වන්නාහු නම් ළිඳෙන් කුමක් කරන්නේද, ඒ තෘෂ්ණාවගේ මුල සිඳ කවර කරුණකින් පැන් සෙවීමෙහි හැසිරෙන්නේද?”
7. 10.
10. උදෙන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කාලයෙක්හි භාග්යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝොෂිත සිටුහු විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි උයනට ගියාවූ උදෙන රජහුගේ අන්තඃපුරය දෑවේ වෙයි, සාමාවති බිසව ප්රධානකොට ඇත්තාවූ ස්ත්රීන් පන්සියයක් කළුරිය කළාහු වෙත්. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි හැඳ පොරොවා පාත්ර සිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වන්හ. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර පස්වරුවෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හිඳ එතැනට පැමිණියාහුය. පැමිණ භාග්යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙහි හුන්නාවුම ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට මේ කරුණ කීහ: “ස්වාමීනි, මෙහි උදෙන රජහු උයන් කෙළියට ගියදී අන්තඃපුරය දැවිණ. සාමාවතී දෙවිය ප්රධාන කොට ඇති ස්ත්රීන් පන්සියයක් කළුරිය කළාහුය, ස්වාමීනි, ඒ උපාසිකාවන්ගේ ගති තොමෝ කවරීද? පරලොව කවරේදැ”යි.
2. “මහණෙනි, මේ උපාසිකාවන් අතුරෙහි සොවාන් උපාසිකාවෝත් ඇත්තාහ. සකෘදාගාමි උපාසිකාවෝත් ඇත්තාහ. අනාගාමි උපාසිකාවෝත් ඇත්තාහ. මහණෙනි, ඒ උපාසිකාවෝ සැදැහැ ඇත්තියෝය, නිෂ්ඵල නොවූවාහු මාර්ග ඵල ඇත්තාහු කළුරිය කළාහුයයි” වදාළසේක.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය සියලු අයුරෙන් දැන මේ ප්රීති වාක්යය පහළ කළසේක:
“ලෝකයතෙම මෝහය සම්බන්ධකොට ඇත්තේය. අන්ධ බාල ලෝකය තෙම උපධි සම්බන්ධ කොට ඇත්තේද, අවිද්යා නමැති අන්ධකාරය විසින් පිරිවරන ලද්දේය. ඔහුට කාමයෝ නිත්යය හැමකල්හි වන සුලුයයි වැටහෙයි. විශේෂයෙන් විදර්ශනා ප්රඥාව සහිතවූ මාර්ග ප්රඥාවෙන් තත්වූ පරිද්දෙන් බලන්නාවූ ඕහටම කිසිවක් නැත.”
සත් වෙනි චුල්ල වර්ගය නිමි.
එහි උද්දානය:
“භද්දිය සූත්ර දෙක ද, සත්ත සූත්ර දෙක ද, ලකුණ්ටක, තණ්හාක්ඛය, පපඤ්චක්ඛය, කච්චාන, උදපාන සහ උදෙන සූත්රය ද වේ.”