7. 10.
10. උදෙන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර සමීපයෙහිවූ ඝොෂිත සිටුහු විසින් කරවන ලද ආරාමයෙහි වැඩවසනසේක. එකල්හි වනාහි උයනට ගියාවූ උදෙන රජහුගේ අන්තඃපුරය දෑවේ වෙයි, සාමාවති බිසව ප්‍රධානකොට ඇත්තාවූ ස්ත්‍රීන් පන්සියයක් කළුරිය කළාහු වෙත්. එකල්හි වනාහි බොහෝ භික්ෂූහු පෙරවරුවෙහි හැඳ පොරොවා පාත්‍ර සිවුරු ගෙන කොසඹෑ නුවරට පිඬු පිණිස වන්හ. කොසඹෑ නුවර පිඬු පිණිස හැසිර පස්වරුවෙහි පිඬු සෙවීමෙන් වැළකුණාහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිඳ එතැනට පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත්පසෙක හුන්හ. එකත්පසෙහි හුන්නාවුම ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ කීහ: “ස්වාමීනි, මෙහි උදෙන රජහු උයන් කෙළියට ගියදී අන්තඃපුරය දැවිණ. සාමාවතී දෙවිය ප්‍රධාන කොට ඇති ස්ත්‍රීන් පන්සියයක් කළුරිය කළාහුය, ස්වාමීනි, ඒ උපාසිකාවන්ගේ ගති තොමෝ කවරීද? පරලොව කවරේදැ”යි.
2. “මහණෙනි, මේ උපාසිකාවන් අතුරෙහි සොවාන් උපාසිකාවෝත් ඇත්තාහ. සකෘදාගාමි උපාසිකාවෝත් ඇත්තාහ. අනාගාමි උපාසිකාවෝත් ඇත්තාහ. මහණෙනි, ඒ උපාසිකාවෝ සැදැහැ ඇත්තියෝය, නිෂ්ඵල නොවූවාහු මාර්ග ඵල ඇත්තාහු කළුරිය කළාහුයයි” වදාළසේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය සියලු අයුරෙන් දැන මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක:
“ලෝකයතෙම මෝහය සම්බන්ධකොට ඇත්තේය. අන්ධ බාල ලෝකය තෙම උපධි සම්බන්ධ කොට ඇත්තේද, අවිද්‍යා නමැති අන්ධකාරය විසින් පිරිවරන ලද්දේය. ඔහුට කාමයෝ නිත්‍යය හැමකල්හි වන සුලුයයි වැටහෙයි. විශේෂයෙන් විදර්ශනා ප්‍රඥාව සහිතවූ මාර්ග ප්‍රඥාවෙන් තත්වූ පරිද්දෙන් බලන්නාවූ ඕහටම කිසිවක් නැත.”
සත් වෙනි චුල්ල වර්ගය නිමි.
එහි උද්දානය:
“භද්දිය සූත්‍ර දෙක ද, සත්ත සූත්‍ර දෙක ද, ලකුණ්ටක, තණ්හාක්ඛය, පපඤ්චක්ඛය, කච්චාන, උදපාන සහ උදෙන සූත්‍රය ද වේ.”
පාටලීගාම වර්ගය
8. 1.
1. (ප්‍රථම) නිර්වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන හා බැඳුණු දැහැමි කතාවෙන් කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඒ භික්ෂූහුද අර්ථය දැන, මෙනෙහි කොට, සියලු සිතින් යොමුකොට, කන් යොමා දහම් අසති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය (හැම අයුරෙන්) දැන මේ ප්‍රීතිවාක්‍යය ඒ වේලාවෙහි පහළකළසේක.
“මහණෙනි, යම් නිවනෙක්හි පෘථිවිධාතුව නොම ඇත්තේද, ආපෝධාතුව නැත්තේද, තෙජෝ ධාතුව නැත්තේද, වායෝධාතුව නැත්තේද, ආකාසානඤ්චායතන චිත්තෝත්පාදය නැත්තේද, විඤ්ඤාණඤ්චායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, ආකිඤ්චඤ්ඤායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, නෙවසඤ්ඤා නාසඤ්ඤායතන සිතෙහි ඉපදීමෙක් නැත්තේද, මේ ආත්මභාවය සඳ හිරු දෙදෙනද නැත්තේය. මහණෙනි, ඒ නිවණෙහි ඊමක්ද නොමකියමි, යාමක්ද නොම කියමි. සිටීමක්ද නොම කියමි. ඉපදීමද නොමකියමි. චුතවීමද නොමකියමි, ඒ නිවණ නොපිහිටියේය. නොපවත්නේය ඒ නිවණ අරමුණක් නැත්තේමය, කෙළවර වූයේම මේ නිවණ යයි.”
8. 2.
2. (ද්විතීය) නිර්වාණ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට නිවන හා බැඳුණු දැහැමි කතාවෙන් කරුණු දක්වති, සමාදන් කරවති, තෙද ගන්වති, සතුටු කරවති. ඒ භික්ෂූහුද අර්ථය දැන, මෙනෙහි කොට, සියලු සිතින් යොමුකොට, කන් යොමා දහම් අසති.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ දැක මේ ප්‍රීති වාක්‍යය පහළකළසේක.
“දක්නට නොපිළිවන්වෙයි, කෙළවර රහිතය, සත්‍ය නම් වෙයි. සුවසේ නොදැක්ක හැකි වෙයි. අවබෝධ කරන්නාහු විසින් තෘෂ්ණාතොමෝ පිළිවිදින ලදුද, දන්නාහට, දක්නාහට කිසි තෘෂ්ණා පළිබොධයක් නැත්තේයයි කර්මවිපාක වෘත්තයන්ගේද නො ලැබීම වේ. ඊට හේතුවූ අමාමහ නිවනෙහි ආනුභාවය ප්‍රකාශ කළසේක.”