7. 6.
6. තණ්හාඞ්ඛය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි තුන් සන්ධියක් ඇති ඌරුබද්ධාසනය අවුලුවා කය ඍජු කොට තබා තෘෂ්ණා ක්ෂය සංඛ්යාත විමුක්තිය ප්රත්යවෙක්ෂා කරමින් වැඩහුන්නේ වෙයි. භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පලක් බැඳ කය ඍජුකොට තබා තෘෂ්ණාක්ෂය නම් අර්හත් ඵල විමුක්තිය ප්රත්යවෙක්ෂා කරමින් වැඩහුන්නාවූ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්ය පහළ කළ සේක:
“යම් ආර්යපුද්ගලයකුගේ මුල පොළොවද නැත්තේද ලතාවක් නැත්තේද, පත්රයෝ කොයින්ද? ධෘතිමත්වූ බන්ධනයෙන් මිදුණාවූ ඒ ක්ෂිණාශ්රවයාට කවර නම් නුවණැත්තෙක් ගරහන්නට සුදුසුවේද, ඒ ක්ෂීණාශ්රවයාට දෙවියෝද පසසත්, මහා බ්රහ්මයා විසිනුදු පසසන ලද්දේමයයි.”
7. 7.
7. ප්රපඤ්චක්ෂය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්රපඤ්ච නම්වූ බොහෝ කල් පවත්වන්නාවූ රාග ද්වේෂ මෝහ මාන ක්ලෙශයන්ගේ ප්රහානය ප්රත්යවෙක්ෂා කරමින් වැඩහුන්සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්රපඤ්ච සංඥා ශංඛාවන්ගේ ප්රහානය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළසේක:
“යම් පුද්ගලයකුගේ ප්රපඤ්චයෝද සිටීමද, අනුසයත් නැත්තේද, බන්ධනයයි ලද නම් ඇති තෘෂ්ණා දෘෂ්ටීන්ද පලිඝයයි කියනලද අවිද්යාවද විශේෂයෙන් ඉක්මවූයේද, තෘෂ්ණාව නැත්තාවූ මුනිවූ හැසිරෙන්නාවූ ඒ පුද්ගලයාට දෙවියන් සහිතවූ සියලු සත්ව ලෝකයා අවමන් නොකෙරේ” යයි.
7. 8.
8. කච්චාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම පලක්බැඳ කය ඍජු කොට තබා කායගතාසතියෙහි (කය අනුව බලන) සිහිය අභිමුඛකොට භාග්යවතුන් වහන්සේට නුදුරුතන්හි වැඩහුන්නේ වෙයි. භාග්යවතුන් වහන්සේ භාග්යවතුන් වහන්සේට නොදුරු තන්හි පලක් බැඳ කය ඍජු කොට තබා කය අනුව බලන සිහියෙන් යුක්තව අභිමුඛව මනාකොට පැමිණ සිටියාවූ ආයුෂ්මත් මහාකච්චායන තෙරුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළසේක:
“යමකුගේ හැමකල්හිම සිහිය කය අනුව බැලීමට පැමිණ සිටියාවන්නීද, මාගේ ක්ලෙශ කර්මයෙක් ඉදින් නොවීනම් මාගේ මේ ආත්මභාවය නො උපදින්නේය. මේ අත්බවෙහි ක්ලෙශ කර්මයෙක්ද නොවන්නේය, මට මත්තෙහි විපාක වෘත්තයෙක්ද නොවන්නේය, නොදනොවන්නේ නම් මා සතුවූ කිසිවක් නොවන්නේය. කරුණුවූ කිසිවක් නොවන්නේය. මත්තෙහිද තමාට අයත්වූ කිසිවක් නම් මට නොවන්නේයයි මෙසේ අනුපූර්ව විහාර ඇත්තාවූම යොගාවචර තෙම ඉඳුරන් මුහුකුරාගිය කල්හිම විසත්තිකායයි කියනලද තෘෂ්ණාව තරණය කරන්නේය.”