7. 7.
7. ප්‍රපඤ්චක්ෂය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්‍රපඤ්ච නම්වූ බොහෝ කල් පවත්වන්නාවූ රාග ද්වේෂ මෝහ මාන ක්ලෙශයන්ගේ ප්‍රහානය ප්‍රත්‍යවෙක්ෂා කරමින් වැඩහුන්සේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්‍රපඤ්ච සංඥා ශංඛාවන්ගේ ප්‍රහානය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක:
“යම් පුද්ගලයකුගේ ප්‍රපඤ්චයෝද සිටීමද, අනුසයත් නැත්තේද, බන්ධනයයි ලද නම් ඇති තෘෂ්ණා දෘෂ්ටීන්ද පලිඝයයි කියනලද අවිද්‍යාවද විශේෂයෙන් ඉක්මවූයේද, තෘෂ්ණාව නැත්තාවූ මුනිවූ හැසිරෙන්නාවූ ඒ පුද්ගලයාට දෙවියන් සහිතවූ සියලු සත්ව ලෝකයා අවමන් නොකෙරේ” යයි.
7. 8.
8. කච්චාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම පලක්බැඳ කය ඍජු කොට තබා කායගතාසතියෙහි (කය අනුව බලන) සිහිය අභිමුඛකොට භාග්‍යවතුන් වහන්සේට නුදුරුතන්හි වැඩහුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නොදුරු තන්හි පලක් බැඳ කය ඍජු කොට තබා කය අනුව බලන සිහියෙන් යුක්තව අභිමුඛව මනාකොට පැමිණ සිටියාවූ ආයුෂ්මත් මහාකච්චායන තෙරුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක:
“යමකුගේ හැමකල්හිම සිහිය කය අනුව බැලීමට පැමිණ සිටියාවන්නීද, මාගේ ක්ලෙශ කර්මයෙක් ඉදින් නොවීනම් මාගේ මේ ආත්මභාවය නො උපදින්නේය. මේ අත්බවෙහි ක්ලෙශ කර්මයෙක්ද නොවන්නේය, මට මත්තෙහි විපාක වෘත්තයෙක්ද නොවන්නේය, නොදනොවන්නේ නම් මා සතුවූ කිසිවක් නොවන්නේය. කරුණුවූ කිසිවක් නොවන්නේය. මත්තෙහිද තමාට අයත්වූ කිසිවක් නම් මට නොවන්නේයයි මෙසේ අනුපූර්ව විහාර ඇත්තාවූම යොගාවචර තෙම ඉඳුරන් මුහුකුරාගිය කල්හිම විසත්තිකායයි කියනලද තෘෂ්ණාව තරණය කරන්නේය.”
7. 9.
9. උදපාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි චාරිකා වශයෙන් වඩනාසේක් මහා බික්සඟන සමග ථූන නම් මල්ලයන්ගේ බ්‍රාහ්මණ ග්‍රාමය යම් තැනෙක්හිද එතැනට පැමිණිසේක. ථූන නම් ගම්වැසිවූ බමුණු ගැහැවියෝ “පින්වත්නි, ශාක්‍ය රජුගේ පුත්වූ ශාක්‍ය කුලයෙන් නික්ම පැවිදිවූ ශ්‍රමණ ගෞතමතෙම මල්ල ජනපදයෙහි චාරිකා කරමින් මහ බික්සඟන සමග ථූන නම් ගමට පැමිණියේල”යි ඇසූවාහුමය. “ඒ නින්දිත මුඩු මහණෝ පැන් නොබොත්වා”යි තෘණරොඩු ගොඩ ගසා ළිං වැසූහ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා රුක්මුල යම් තැනෙක්හිද එතැනට වැඩිසේක. වැඩ පනවන ලද බුද්ධාසනයෙහි වැඩ හුන්සේක. වැඩහිඳ වනාහි ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූසේක. “එහෙනම් අනඳ! තෝ මට අර ළිඳෙන් පැන් ගෙන එව”යි වදාළසේක. මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අනඳ තෙර භාග්‍යවතුන් වහන්සේට මෙපුවත දැන්වීය: “ස්වාමීනි, දැන් ඒ ළිඳ ථූන ගම්වැසි බ්‍රාහ්මණ ගෘහපතීන් විසින් ‘ඒ නින්දිත මුඩු මහණහු පැන් නොබොත්වා’යි රොඩුවලින්ද බොල් වියෙන්ද ළිං කට තෙක් පුරවන ලද්දේය.” දෙවැනිවද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් අනඳ තෙරුන් කැඳවූසේක. “එහෙනම් ආනන්දය, අර ළිඳෙන් පැන් ගෙනඑව”යි වදාළසේක. දෙවැනි වත් ආයුෂ්මත් අනඳ තෙර භාග්‍යවතුන් වහන්සේට මේ ප්‍රවෘත්තිය දැනුම් දුන්නේය. තුන් වෙනුවද භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් කැඳවූසේක. “එහෙනම් ආනන්දය, අර ළිඳෙන් මට පැන් ගෙන එව”යි වදාළසේක. “එසේය ස්වාමීනි” කියා ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී, පාත්‍රය ගෙන ඒ ළිඳ යම් තැනෙකද එතැනට පැමිණියේය.
3. එකල්හි ඒ ළිඳ ආයුෂ්මත් අනඳ තෙරුන් පැමිණෙත් පැමිණෙත්ම ඒ හැම තණද දහවියාද ළිං කටින් ඉවත්ව නිර්මලවූ නොකැලත්වූ විශේෂයෙන් පෑදුනාවූ දියෙන් ළිං කට තෙක් පිරුණේ ගලා බසින්නාසේ සිටියේය. එකල්හි ආයුෂ්මත් අනඳ තෙරුන්ට මෙබඳු අදහසෙක් විය: “පින්වත්නි, ඒකාන්තයෙන් තථාගතයන් වහන්සේගේ මහත් ඍද්ධි ඇතිබව මහානුභාව ඇතිබව ආශ්චර්යයි, පුදුමයි. මේ ඒ ළිඳ වනාහි මා පැමිණෙන කල්හි සියලු ඒ තෘණද බොල් වියද ළිං කටින් ඉවත්ව නිර්මලවූ නොකැලඹුනාවූ විශේෂයෙන් ප්‍රසන්නවූ ජලයෙන් ළිං කට තෙක් පිරුණේ ගලා බස්නාක් මෙන් සිටියේයයි,” පාත්‍රයෙන් පැන් ගෙන භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට මේ පුවත කීයේය: “ස්වාමීනි තථාගතයන් වහන්සේගේ මහර්ධි ඇති බව මහානුභාව ඇතිබව ආශ්චර්යය, පුදුමය. ස්වාමීනි, මේ ඒ ළිඳ වනාහි මා පැමිණෙන කල්හි සියලු ඒ තෘණද දහවියාද, ළිං කටින් ඉවත්ව නිර්මලවූ නොකැළඹුනාවූ විශේෂයෙන් ප්‍රසන්නවූ ජලයෙන් ළිං කට තෙක් පිරී ගියේ ඉතිරයන්නාසේ සිටියේය. භාග්‍යවතුන් වහන්සේ පැන් පානය කරණ සේක්වා, සුගතයන් වහන්සේ පැන් පානය කරන සේක්වායි”.
4. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළසේක:
“ඉදින් යමකුට හැමදා හැම තන්හිම දිය වන්නාහු නම් ළිඳෙන් කුමක් කරන්නේද, ඒ තෘෂ්ණාවගේ මුල සිඳ කවර කරුණකින් පැන් සෙවීමෙහි හැසිරෙන්නේද?”