7. 5.
5. ලකුණ්ටක සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය ස්ථවිර තෙම බොහෝ භික්ෂූන්ගේ පිටිපසින් පිටිපසින් භාග්යවතුන් වහන්සේ යම් තැනෙක්හි එතැනට පැමිණියේය. භාග්යවතුන් වහන්සේ දුරදීම බොහෝ භික්ෂූන්ගේ පිටිපසින් පිටිපසින් එන්නාවූ දුර්වර්ණවූ ප්රසාද එළවන දැකුම් නැත්තාවූ මිටිවූ බොහෝ සෙයින් භික්ෂූන්ට පිළිකුල් ස්වභාවය ඇති ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් දුටුසේක්මය. දැක භික්ෂූන් ඇමතූසේක: “මහණෙනි, තෙපි දුර්වර්ණවූ පැහැදීම එළවන දැකුම් නැත්තාවූ මිටිවූ බෙහෙවින් භික්ෂූන්ට නොරිසිවූ අර මහණ බොහෝ භික්ෂූන්ගේ පසුපස්සෙන් දුරින්ම එනු දක්නහුදැ?”යි.
2. “එසේය ස්වාමීනි”යි කීහ. “මහණෙනි, ඒ මහණහු මහත් ඍද්ධි ඇත්තෙක, මහත් ආනුභාවය ඇත්තෙක. ඒ මහණහු නොසමවන් විරූ යම් සමවතක් වේද, ඕ සමවත සුවසේ ලැබිය හැකි ස්වභාව ඇත්තී නොවේ. කුලපුත්රයෝ යම් අර්හත් ඵලයක් පිණිස මනාකොටම ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, නිරුත්තරවූ මාර්ග බ්රහ්මචර්ය කෙළවර කොට ඇති ඒ රහත්බව මේ අත් බවෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්රත්යක්ෂකොට පැමිණ වෙසේ යයි” වදාළසේක.
3. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළ සේක:
“නිර්දෝෂවූ ප්රධානවූ අර්හත් ඵල ශීල නමැති අග ඇත්තාවූ පලස වැනි අර්හත් ඵල විමුක්ති නමැති ඉතා සුදු පලස් ඇත්තාවූ සිහි නමැති අර දැවී ඇත්තාවූ රථයතෙම පවත්නේය. නිදුක්වූ කෙලෙසුන්ගෙන් සැළීමක් නැත්තාවූ, එන්නාවූ, සිඳින ලද ස්රොතස් ඇත්තාවූ බැමි නැත්තාවූ එය බලවයි.”
7. 6.
6. තණ්හාඞ්ඛය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම භාග්යවතුන් වහන්සේගේ සමීපයෙහි තුන් සන්ධියක් ඇති ඌරුබද්ධාසනය අවුලුවා කය ඍජු කොට තබා තෘෂ්ණා ක්ෂය සංඛ්යාත විමුක්තිය ප්රත්යවෙක්ෂා කරමින් වැඩහුන්නේ වෙයි. භාග්යවතුන් වහන්සේ සමීපයෙහි පලක් බැඳ කය ඍජුකොට තබා තෘෂ්ණාක්ෂය නම් අර්හත් ඵල විමුක්තිය ප්රත්යවෙක්ෂා කරමින් වැඩහුන්නාවූ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්ය පහළ කළ සේක:
“යම් ආර්යපුද්ගලයකුගේ මුල පොළොවද නැත්තේද ලතාවක් නැත්තේද, පත්රයෝ කොයින්ද? ධෘතිමත්වූ බන්ධනයෙන් මිදුණාවූ ඒ ක්ෂිණාශ්රවයාට කවර නම් නුවණැත්තෙක් ගරහන්නට සුදුසුවේද, ඒ ක්ෂීණාශ්රවයාට දෙවියෝද පසසත්, මහා බ්රහ්මයා විසිනුදු පසසන ලද්දේමයයි.”
7. 7.
7. ප්රපඤ්චක්ෂය සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්රපඤ්ච නම්වූ බොහෝ කල් පවත්වන්නාවූ රාග ද්වේෂ මෝහ මාන ක්ලෙශයන්ගේ ප්රහානය ප්රත්යවෙක්ෂා කරමින් වැඩහුන්සේක.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ තමන්වහන්සේගේ ප්රපඤ්ච සංඥා ශංඛාවන්ගේ ප්රහානය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළසේක:
“යම් පුද්ගලයකුගේ ප්රපඤ්චයෝද සිටීමද, අනුසයත් නැත්තේද, බන්ධනයයි ලද නම් ඇති තෘෂ්ණා දෘෂ්ටීන්ද පලිඝයයි කියනලද අවිද්යාවද විශේෂයෙන් ඉක්මවූයේද, තෘෂ්ණාව නැත්තාවූ මුනිවූ හැසිරෙන්නාවූ ඒ පුද්ගලයාට දෙවියන් සහිතවූ සියලු සත්ව ලෝකයා අවමන් නොකෙරේ” යයි.
7. 8.
8. කච්චාන සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් මහාකච්චායන ස්ථවිරතෙම පලක්බැඳ කය ඍජු කොට තබා කායගතාසතියෙහි (කය අනුව බලන) සිහිය අභිමුඛකොට භාග්යවතුන් වහන්සේට නුදුරුතන්හි වැඩහුන්නේ වෙයි. භාග්යවතුන් වහන්සේ භාග්යවතුන් වහන්සේට නොදුරු තන්හි පලක් බැඳ කය ඍජු කොට තබා කය අනුව බලන සිහියෙන් යුක්තව අභිමුඛව මනාකොට පැමිණ සිටියාවූ ආයුෂ්මත් මහාකච්චායන තෙරුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය පහළ කළසේක:
“යමකුගේ හැමකල්හිම සිහිය කය අනුව බැලීමට පැමිණ සිටියාවන්නීද, මාගේ ක්ලෙශ කර්මයෙක් ඉදින් නොවීනම් මාගේ මේ ආත්මභාවය නො උපදින්නේය. මේ අත්බවෙහි ක්ලෙශ කර්මයෙක්ද නොවන්නේය, මට මත්තෙහි විපාක වෘත්තයෙක්ද නොවන්නේය, නොදනොවන්නේ නම් මා සතුවූ කිසිවක් නොවන්නේය. කරුණුවූ කිසිවක් නොවන්නේය. මත්තෙහිද තමාට අයත්වූ කිසිවක් නම් මට නොවන්නේයයි මෙසේ අනුපූර්ව විහාර ඇත්තාවූම යොගාවචර තෙම ඉඳුරන් මුහුකුරාගිය කල්හිම විසත්තිකායයි කියනලද තෘෂ්ණාව තරණය කරන්නේය.”