7. 4.
4. (ද්විතීය) කාම සත්ත සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි සැවැත් නුවර මනුෂ්‍යයෝ බොහෝ සෙයින් කාමයන්හි ඇලුනාහු වෙති, ඉතා ඇලුනාහු වෙති, ගිජු වූවාහු වෙති, මුළා වූවාහු වෙති, ගිලගෙන සිටියාහු වෙති, අන්ධ වූවාහු මත් වූවාහු කාමයන්හි වාසය කෙරෙති. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු එක් වේලාවෙක්හි හැඳ පොරොවා පාත්‍ර, සිවුරු ගෙන සැවැත්නුවර පිඬු පිණිස වන් සේක. භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ඒ මිනිසුන් බොහෝ සෙයින් කාමයන්හි ඇලුනාවූ, ගිජු වූවාවූ, මුසපත් වූවාවූ, අන්ධ වූවාවූ, මත් වූවාවූ, කාමයන්හි වාසය කරන්නවුන් දුටු සේක්මය. (ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සැවැතින් නික්ම දෙවුරමට වඩනාසේක් අතර මග අචිරවතී නදියෙහි කෙවුළන් අටවන ලද කෙමිනකට වැද නික්මෙන්නට නොහැකිවූ බොහෝ මසුන් දුටුසේක. ඉන් ඔබ්බෙහි කිරිබොන එක් වස්සෙකු හඬා ලුහුබැඳ කිරිබීම පිණිස බෙල්ල දික්කරගෙන මවගේ කළවා අතරට මුව එළවන්නාහු දුටු සේක.)
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ වෙහෙරට වැඩ පා සෝදා පනවන ලද බුද්ධාසනයෙහි වැඩහුන් සේක්. මේ කරුණු දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක:
“කාමයන්හි අන්ධවූ නුවණැස් නැතිකරන ලද්දාවූ සත්වයෝ සියුම් සිදුරු ඇති දැලකින් වට කරන ලද විලක්සේ දැලක් බඳුවූ තෘෂ්ණාවෙන් වැසුණාහු තෘෂ්ණා නමැති වැසිල්ලෙන් වැසුනාහු වෙත්. කෙමන් කටෙහි වන් මසුන් මෙන් ප්‍රමාදවූ සත්ත්වයන් අනර්ථයෙන් බඳින්නාවූ මාරයා විසින් බඳින ලද්දාහු වෙත්. කිරි බොන වස්සා මව අනුව යන්නා සේ ජරා මරණයට පැමිණෙත්.”
7. 5.
5. ලකුණ්ටක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය ස්ථවිර තෙම බොහෝ භික්ෂූන්ගේ පිටිපසින් පිටිපසින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හි එතැනට පැමිණියේය. භාග්‍යවතුන් වහන්සේ දුරදීම බොහෝ භික්ෂූන්ගේ පිටිපසින් පිටිපසින් එන්නාවූ දුර්වර්ණවූ ප්‍රසාද එළවන දැකුම් නැත්තාවූ මිටිවූ බොහෝ සෙයින් භික්ෂූන්ට පිළිකුල් ස්වභාවය ඇති ආයුෂ්මත් ලකුණ්ටක භද්දිය තෙරුන් දුටුසේක්මය. දැක භික්ෂූන් ඇමතූසේක: “මහණෙනි, තෙපි දුර්වර්ණවූ පැහැදීම එළවන දැකුම් නැත්තාවූ මිටිවූ බෙහෙවින් භික්ෂූන්ට නොරිසිවූ අර මහණ බොහෝ භික්ෂූන්ගේ පසුපස්සෙන් දුරින්ම එනු දක්නහුදැ?”යි.
2. “එසේය ස්වාමීනි”යි කීහ. “මහණෙනි, ඒ මහණහු මහත් ඍද්ධි ඇත්තෙක, මහත් ආනුභාවය ඇත්තෙක. ඒ මහණහු නොසමවන් විරූ යම් සමවතක් වේද, ඕ සමවත සුවසේ ලැබිය හැකි ස්වභාව ඇත්තී නොවේ. කුලපුත්‍රයෝ යම් අර්හත් ඵලයක් පිණිස මනාකොටම ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදි වෙද්ද, නිරුත්තරවූ මාර්ග බ්‍රහ්මචර්ය කෙළවර කොට ඇති ඒ රහත්බව මේ අත් බවෙහිම තෙමේ විශිෂ්ට ඥානයෙන් දැන ප්‍රත්‍යක්ෂකොට පැමිණ වෙසේ යයි” වදාළසේක.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය පහළ කළ සේක:
“නිර්දෝෂවූ ප්‍රධානවූ අර්හත් ඵල ශීල නමැති අග ඇත්තාවූ පලස වැනි අර්හත් ඵල විමුක්ති නමැති ඉතා සුදු පලස් ඇත්තාවූ සිහි නමැති අර දැවී ඇත්තාවූ රථයතෙම පවත්නේය. නිදුක්වූ කෙලෙසුන්ගෙන් සැළීමක් නැත්තාවූ, එන්නාවූ, සිඳින ලද ස්‍රොතස් ඇත්තාවූ බැමි නැත්තාවූ එය බලවයි.”
7. 6.
6. තණ්හාඞ්ඛය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ ස්ථවිරතෙම භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි තුන් සන්ධියක් ඇති ඌරුබද්ධාසනය අවුලුවා කය ඍජු කොට තබා තෘෂ්ණා ක්ෂය සංඛ්‍යාත විමුක්තිය ප්‍රත්‍යවෙක්ෂා කරමින් වැඩහුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි පලක් බැඳ කය ඍජුකොට තබා තෘෂ්ණාක්ෂය නම් අර්හත් ඵල විමුක්තිය ප්‍රත්‍යවෙක්ෂා කරමින් වැඩහුන්නාවූ ආයුෂ්මත් අඤ්ඤාකොණ්ඩඤ්ඤ තෙරුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍ය පහළ කළ සේක: