5. 9.
සද්ධායමාන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහ බික්සඟන සමග කොසොල් රට චාරිකාවෙහි වඩනාසේක. එකල්හි වනාහි බොහෝ මානවකයෝ භාග්‍යවතුන් වහන්සේගේ නුදුරෙහි වෙසෙන්නවුන් මෙන් හැසිරෙන ස්වභාව ඇත්තාහු කවටකම් වචන කියන ස්වභාව ඇත්තාහු කුදු මහත් ශබ්ද කරන්නාහු ඉක්මවත්. භාග්‍යවතුන් වහන්සේ නුදුරෙහි කෙළිකවටකම් වචන කියන ස්වභාව ඇත්තාවූ බොහෝ තරුණ බමුණන් ඉක්මෙන්නවුන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක:
“යම්තාක් කට වසා ගැන්ම නොකමැති වෙද්ද, යම්හෙයකින් පමුණුවන ලද්දාහු ඒ කීමට කාරණය නොදනිද්ද, මූඪවූ පණ්ඩිත ප්‍රතිරූපකයෝ මතයම විෂයකොට ඇතිව කියන්නාහුය, නොහොත් සිහිඑළවා නොකියන්නාහුයයි”
5. 10.
පන්ථක සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් චුල්ලපන්ථක ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරුතන්හි අරමිණියා අවුළුවා කය සෘජුකොට පිහිටුවා අරමුණට අභිමුඛකොට සිහිය එළවා වැඩහුන්නේ වෙයි. භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි අරමිණියා බැඳ කය කෙළින් සිටුවා අරමුණට අභිමුඛකොට සිහිය එළවා වැඩහුන් ආයුෂ්මත් චුල්ලපන්ථක තෙරණුවන් දුටුසේක්මය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදන් පහළ කළසේක:
“මහණතෙම මනාව පිහිටුවන ලද කයින් යුක්තව මනාව පිහිටි සිහියෙන් යුක්තව සිටින්නේ හෝ හුන්නේ හෝ යළි හෝනේ හෝ සිත මැනවින් පිහිටුවන්නේ නම්, ඒ මහණතෙම පූර්වාපරභාගයෙන් පැවති විශේෂය ලබන්නේය. හෙතෙම පුබ්බාපරීය විශේෂය ලැබ මෘත්‍යුරාජයයි කියන ලද මරණයට නොපෙනී යන්නේය.”
සොණවග්ගො පඤ්චමො.
තස්සුද්දාන:
රාජ, අප්පායුක, කුට්ඨී, කුමාරක, උපොසථ, සොණ, රෙවත, නන්ද, සද්ධායමාන සහ පන්ථක යන මේවායි.
6. ජාත්‍යන්ධ වර්ගය
6. 1.
1. ආයුසංඛාරොස්සජන සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී: එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා මහනුවර මහාවන නම්වූ කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු ගෙන විශාලා මහනුවරට පිඬු පිණිස පිවිසි සේක. විශාලා මහනුවර පිඬු පිණිස හැසිර බත්කිස නිමවා පිණ්ඩපාතයෙන් වැළකුණාහු ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: “ආනන්දය, නිසීදනය (හිඳිනා ඇතිරිය) ගනුව. දහවල විහරණය පිණිස චාපාල චෛත්‍යය යම් තැනෙකද එතැනට එළඹෙන්නෙමු”යි. “එසේය ස්වාමීනි”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපස ගියහ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යය වෙත එළඹුණු සේක. එළඹ පනවන ලද අසුනෙහි වැඩහුන් සේක. වැඩහිඳ භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: “ආනන්දය, විශාලා මහනුවර රම්‍යය, උදේන චෛත්‍යය රම්‍යය, ගෝතමක චෛත්‍යය රම්‍යය, සත්තම්බ චෛත්‍යය රම්‍යය, බහුපුත්ත චෛත්‍යය රම්‍යය, සාරන්දද චෛත්‍යය රම්‍යය, චාපාල චෛත්‍යය රම්‍යය. ආනන්දය, යම් කිසිවෙකු විසින් සතර ඉද්ධිපාදයන් වැඩූ බවට, බහුල වශයෙන් කළ බවට, යානයක් මෙන් කළ බවට, වස්තුවක් මෙන් කළ බවට පත් කරන ලද්දාහුද, (සිතෙහි) පිහිටුවන ලද්දාහුද, පුරුදු කරන ලද්දාහුද, මැනවින් අරඹන ලද්දාහුද, හෙතෙම කැමති වන්නා කල්පයක් හෝ කල්පයකට වඩා හෝ ජීවත් වන්නේය. ආනන්දය, තථාගතයන් වහන්සේ විසින් සතර ඉද්ධිපාදයන් වඩන ලද්දාහුය, බහුල වශයෙන් කරන ලද්දාහුය, යානයක් මෙන් කරන ලද්දාහුය, වස්තුවක් මෙන් කරන ලද්දාහුය, (සිතෙහි) පිහිටුවන ලද්දාහුය, පුරුදු කරන ලද්දාහුය, මැනවින් අරඹන ලද්දාහුය. ආනන්දය, තථාගත තෙම කැමති වන්නා කල්පයක් හෝ කල්පයකට වඩා හෝ ජීවත් වන්නේය”යි. මෙසේද ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ විසින් ඔළාරික නිමිති පහළ කරනු ලබද්දී, ඔළාරික අවබෝධය පහළ කරනු ලබද්දී, එය පසිඳින්නට නොහැකි වූහ. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින සේක්වා, සුගතයන් වහන්සේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව්මිනිසුන්ට වැඩ පිණිස, හිත පිණිස, සැප පිණිස කල්පයක් වැඩ සිටින සේක්වා”යි භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකළහ. යම් හෙයකින් මාරයා විසින් මඩනා ලද සිත් ඇත්තාහු මෙනි.
දෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: ‘ආනන්දය, රම්‍යය -පෙ- ආනන්දය, තථාගත තෙම කැමති වන්නා කල්පයක් හෝ කල්පයකට වඩා හෝ ජීවත් වන්නේය’යි. දෙවනුවත් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ -පෙ- යම් හෙයකින් මාරයා විසින් මඩනා ලද සිත් ඇත්තාහු මෙනි. තෙවනුවත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: ‘ආනන්දය, රම්‍යය -පෙ- ආනන්දය, තථාගත තෙම කැමති වන්නා කල්පයක් හෝ කල්පයකට වඩා හෝ ජීවත් වන්නේය’යි. තෙවනුවත් ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ -පෙ- යම් හෙයකින් මාරයා විසින් මඩනා ලද සිත් ඇත්තාහු මෙනි.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: “ආනන්දය, යන්න, යමකට දැන් කල් දන්නෙහි නම් (එය කරව)”යි. “එසේය ස්වාමීනි”යි ආයුෂ්මත් ආනන්ද තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේ වැඳ පැදකුණු කොට නොදුරු තැනක එක්තරා රුක් සෙවණක හුන්හ.