5. 4.
කුමාරක සූත්රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. ඒ කාලයෙහි බොහෝ ළමයි සැවත් නුවරටද ජේතවනයටද අතරෙහි මසුන් මරත්. ඉක්බිති භාග්යවතුන් වහන්සේ පෙරවරු වේලාවෙහි හැඳ පොරවා පාත්ර සිවුරු ගෙන සැවැත් නුවරට පිඬු පිණිස වැඩිසේක. භාග්යවතුන් වහන්සේ සැවැත් නුවරටද ජේතවනයටද අතරෙහි මසුන් මරණ ළමයින් දැක ඒ ළමයින් වෙත පැමිණිසේක. පැමිණ ඒ ළමයින්ට “ළමයිනි, නුඹලා දුකට බියද, තොපට දුක අප්රිය දැයි” ඇසූහ. “ස්වාමීනි, එසේය. ස්වාමීනි, අපි දුකට බිය වෙමු. අපට දුක අප්රියයයි” කීවාහුය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කරුණ දැන ඒ වේලාවෙහි මේ ප්රීතිවාක්යය පහළ කළසේක.
“ඉදින් තොපි දුකට බියනම් ඉදින් තොපට දුක අප්රිය නම්,
ඉදිරිපිට හෝ රහසිගතව හෝ පවිටු කර්මයක් නොකරව්.
ඉදිරිපිට හෝ රහසිගතව හෝ පවිටු කර්මයක් නොකරව්.
“යම් පාපකර්මයක් මතු කරන්නහුද දැන් කරන්නහුද,
පැනයතත් තොපට එහි විපාකයට පැමිණ මිස දුකින් මිදීමක් නැත.”
පැනයතත් තොපට එහි විපාකයට පැමිණ මිස දුකින් මිදීමක් නැත.”
5. 5.
උපොසථ සූත්රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප්රාසාද නම්වූ පූර්වාරාමයෙහි වැඩවසති. එකල භාග්යවතුන් වහන්සේ තදහුපොසථ දිනයෙහි භික්ෂු සංඝයා පිරිවරා වැඩහුන් සේක. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ රෑ පළමු යාමය ඉක්ම ගිය කල්හි හුනස්නෙන් නැගිට ඒකාංශ කොට සිවුර පොරවා භාග්යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළහ: “ස්වාමීනි, රාත්රිය ඉතා ඉක්ම ගියාය. පළමු යාමය ගෙවුනේය. භික්ෂු සංඝයා බොහෝ වේලාවක් වැඩ හිඳිනා ලදී. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය දේශනා කරන සේක්වා!” මෙසේ කී කල්හි භාග්යවතුන් වහන්සේ නිහඬ වූ සේක. දෙවනුවද ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ රෑ මැදියම් යාමය ඉක්ම ගිය කල්හි හුනස්නෙන් නැගිට... (පෙර පරිදිම)... භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළහ: “ස්වාමීනි, රාත්රිය ඉතා ඉක්ම ගියාය. මැදියම් යාමය ගෙවුනේය. භික්ෂු සංඝයා බොහෝ වේලාවක් වැඩ හිඳිනා ලදී. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය දේශනා කරන සේක්වා!” දෙවනුවද භාග්යවතුන් වහන්සේ නිහඬ වූ සේක. තෙවනුවද ආයුෂ්මත් ආනන්ද තෙරුන් වහන්සේ රෑ පැසුළු යාමය ඉක්ම ගිය කල්හි, අරුණ නැගී එන කල්හි, රෑ පහව යන කල්හි, හුනස්නෙන් නැගිට ඒකාංශ කොට සිවුර පොරවා භාග්යවතුන් වහන්සේ දෙසට ඇඳිලි බැඳ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළහ: “ස්වාමීනි, රාත්රිය ඉතා ඉක්ම ගියාය. පැසුළු යාමය ගෙවුනේය. අරුණ නැගුනේය. රෑ පහව ගියාය. භික්ෂු සංඝයා බොහෝ වේලාවක් වැඩ හිඳිනා ලදී. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය දේශනා කරන සේක්වා!” “ආනන්දය, පිරිස අපිරිසිදුය”.
2. ඉක්බිති ආයුෂ්මත් මහා මුගලන් තෙරුන්ට මෙසේ සිතුනි: “භාග්යවතුන් වහන්සේ කවර පුද්ගලයෙකු ගැන නම් පිරිස අපිරිසිදු යයි වදාළ සේක්ද?” ඉක්බිති ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් සිය සිතින් මුළු භික්ෂු සංඝයාගේ සිත පිරික්සා බැලුවේය. ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් වහන්සේ, දුස්ශීල වූ, පාපී ස්වභාව ඇති, අපිරිසිදු වූ, සැක කටයුතු හැසිරීම් ඇති, ඡන්න කර්මාන්ත ඇති, ශ්රමණ නොවු ශ්රමණ යයි ප්රතිඥා ඇති, බ්රහ්මචාරී නොවූ බ්රහ්මචාරී යයි ප්රතිඥා ඇති, ඇතුලත කුණු වූ, රාගයෙන් තෙත් වූ, කසළ පිරුනු ස්වභාව ඇතිව භික්ෂු සංඝයා මැද හුන් ඒ පුද්ගලයා දිටී. දැක, හුනස්නෙන් නැගිට ඒ පුද්ගලයා වෙත එළඹියේය. එළඹ ඒ පුද්ගලයාට මෙසේ කීවේය: “ඇවැත්නි නැගිටින්න. භාග්යවතුන් වහන්සේ විසින් ඔබව දක්නා ලදී. ඔබට භික්ෂූන් හා වාසය කිරීමක් නැත.” එවිට ඒ පුද්ගලයා නිහඬ විය. දෙවනුවද ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් ඒ පුද්ගලයාට මෙසේ කීවේය: “ඇවැත්නි නැගිටින්න. භාග්යවතුන් වහන්සේ විසින් ඔබව දක්නා ලදී. ඔබට භික්ෂූන් හා වාසය කිරීමක් නැත.” දෙවනුවද ඒ පුද්ගලයා නිහඬ විය. තෙවනුවද ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් ඒ පුද්ගලයාට මෙසේ කීවේය: “ඇවැත්නි නැගිටින්න. භාග්යවතුන් වහන්සේ විසින් ඔබව දක්නා ලදී. ඔබට භික්ෂූන් හා වාසය කිරීමක් නැත.” තෙවනුවද ඒ පුද්ගලයා නිහඬ විය.
3. ඉක්බිති ආයුෂ්මත් මහා මුගලන් තෙරුන් ඒ පුද්ගලයාගේ බාහුවෙන් ගෙන දොරටුවෙන් පිටතට ඇද දමා, අගුළු දමා, භාග්යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්යවතුන් වහන්සේට මෙසේ සැළකළේය: “ස්වාමීනි, මා විසින් ඒ පුද්ගලයා බැහැර කරන ලදී. පිරිස පිරිසිදුය. ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ භික්ෂූන්ට ප්රාතිමෝක්ෂය දේශනා කරන සේක්වා!” “පුදුමයි මුගලන්, විශ්මිතයි මුගලන්, බාහුවෙන් අල්ලා ගන්නා තෙක්ම ඒ හිස් මිනිසා සිටියේය” යනුයි.
4. ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, මම දැන් මෙතැන් සිට උපොසථය නොකරන්නෙමි, ප්රාතිමෝක්ෂය උදෙසා නොදෙන්නෙමි. මහණෙනි, දැන් ඔබලාම මෙතැන් සිට උපොසථය කරව්, ප්රාතිමෝක්ෂය උදෙසා ගනිව්. මහණෙනි, තථාගතයන් වහන්සේ අපිරිසිදු පිරිසක උපොසථය කිරීම, ප්රාතිමෝක්ෂය උදෙසා දීම සිදුවිය නොහැක්කකි, අවකාශ නැත්තකි.”
5. මහණෙනි, මහමුහුදේ මේ අසිරිමත් පුදුම සහගත කරුණු අටක් වෙති. යමක් දැක දැක අසුරයෝ මහමුහුදේ ඇලෙත්ද? කවර අටක්ද යත්:
(1.) මහණෙනි, මහා සාගරය පිළිවෙළින් ගැඹුරු වූයේ, පිළිවෙළින් බෑවුම් වූයේ, පිළිවෙළින් ප්රපාත වූයේ වෙයි. හදිසියේම ප්රපාතයක් නොවෙයි. මහණෙනි, යම් හෙයකින් මහා සාගරය පිළිවෙළින් ගැඹුරු වූයේ, පිළිවෙළින් බෑවුම් වූයේ, පිළිවෙළින් ප්රපාත වූයේ වෙයිද, හදිසියේම ප්රපාතයක් නොවෙයිද, මහණෙනි, මෙය මහමුහුදේ ඇති පළමු අසිරිමත් පුදුම සහගත කරුණයි. යමක් දැක දැක අසුරයෝ මහමුහුදේ ඇලෙති.
(2.) නැවතද මහණෙනි, මහා සාගරය ස්ථිර ස්වභාව ඇත්තේ වෙරළ ඉක්මවා නොයයි. මහණෙනි, යම් හෙයකින් මහා සාගරය ස්ථිර ස්වභාව ඇත්තේ වෙරළ ඉක්මවා නොයයිද, මෙය මහමුහුදේ ඇති දෙවන අසිරිමත් පුදුම සහගත කරුණයි, යමක් දැක දැක අසුරයෝ මහමුහුදේ ඇලෙති.