4. 2.
උද්ධත සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරා නුවර උපවර්තන නම් මල්‍ය රජවරුන්ගේ සල්වනයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි කැලෑකුටියේ වාසය කරත්. නොසන්සුන් වූවාහු එසවූ මානනල ඇත්තාහු, චපලවූවාහු, ක්‍රෑර වචන ඇත්තාහු, විසිරුණු වචන ඇත්තාහු, මුළාසිහි ඇත්තාහු, යහපත් නුවණැත්තාහු, එකඟසිත් නැත්තාහු තැතිගත් සිත් ඇත්තාහු, ප්‍රකෘති ඉන්‍ද්‍රියයන් ඇත්තාහු වෙත්.
2. භාග්‍යවතුන් වහන්සේ නුදුරු කැලෑකුටියේ වසන ඒ නොසන්සුන් වූ එසවූ මානනල ඇති, චපලවූ, ක්‍රෑර වචන ඇති, විසිරුණු වචන ඇති, මුළාසිහි ඇති, අසම්පජාන වූ, එකඟසිත් නැති, තැතිගත් සිත් ඇති, ප්‍රකෘති ඉන්‍ද්‍රියයන් ඇති බොහෝ භික්‍ෂූන් දැක්කේය.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණ දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශකළසේක.
“නොරක්නාලද, මිසදිටුගත්, නිදිබර ගතියෙන් මැඩුණු කයින් මාරයාගේ වසඟයට යයි.
එහෙයින් රක්නාලද සිත් ඇති යහපත් කල්පනා ඇසුරුකරණ සම්‍යක් දෘෂ්ටිය පෙරටුකරණලද නිදිබරගතිය මැඩ පවත්වන මහණතෙම ඉපදීම හා විනාශය දැන සියලු දුගතීන් අත්හරින්නේය.”
4. 3.
ගොපාලක සූත්‍රය
1. මා විසින් මෙසේ අසනලදී. එක්කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මහත් භික්‍ෂු සමූහයක් සමග කොසොල් ජනපදයෙහි පයින් වඩිනසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මාර්ගයෙන් ඉවත්ව එක්තරා ගසක් යම්තැනෙක්හිද එහි පැමිණිසේක. පැමිණ පනවනලද අස්නෙහි වැඩහුන්සේක. ඉක්බිති එක්තරා ගොපල්ලෙක් භාග්‍යවතුන් වහන්සේ යම්තැනෙක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියේය. එකත්පසෙක සිටි ඒ ගොපල්ලාට භාග්‍යවතුන් වහන්සේ දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර පෙන්වූසේක, සමාදන් කරවූසේක, තෙදගැන්වූසේක, සතුටුකළසේක.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථාවෙන් කරුණු ගෙනහැර දක්වනලද, සමාදන් කරවන ලද, තෙදගන්වන ලද සතුටුකරණලද ඒ ගොපලුතෙම භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ හෙට දවස දානය පිණිස භික්‍ෂුසංඝයා සමග ඉවසා වදාරණසේක්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දතාවයෙන් ඉවසූසේක. ඉක්බිති ඒ ගොපලුතෙම භාග්‍යවතුන් වහන්සේගේ ඉවසීම දැන අස්නෙන්නැගිට පැදකුණුකොට ගියේය. ඉක්බිති ඒ ගොපලුතෙම ඒ රාත්‍රිය ඇවෑමෙන් තමාගේ ගෘහයෙහි බොහෝ දිය නුමසු කිරිබත්ද අළුත් ගිතෙල්ද සකස්කරවා, භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි කල්සරිය, දානය නිමවීයයි” භාග්‍යවතුන් වහන්සේට දැන්වූයේය.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන භික්‍ෂුසංඝයා සමග ඒ ගොපල්ලාගේ නිවස යම්තැනෙක්හිද එහි වැඩිසේක. වැඩ පණවනලද ආසනයෙහි වැඩසිටිසේක. ඉක්බිති ඒ ගොපලුතෙම බුදුන් ප්‍රධාන භික්‍ෂුසංඝයා දිය නුමුසු කිරිබතින්ද, අළුත් ගිතෙලින්ද සියතින් සතප්පවූයේය, පැවරූයේය. ඉක්බිති ඒ ගොපලුතෙම වැළඳූ පාත්‍රයෙන් පසෙකට ගත් අත් ඇති භාග්‍යවතුන් වහන්සේ ලඟ එක්තරා පහත් අස්නක් ගෙන එකත්පසෙක හිඳගත්තේය. භාග්‍යවතුන් වහන්සේ එකත්පසෙක හුන් ඒ ගොපල්ලා දැහැමි කථාවෙන් කරුණු සහිතව පෙන්වා, සමාදන් කරවා, තෙදගන්වා, සතුටුකරවා අස්නෙන් නැගිට වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ වැඩි නොබෝ වේලාවකින් ඒ ගොපල්ලා එක්තරා පුරුෂයෙක් සීමාව තුළදී දිවි තොරකළේය.
4. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එහි පැමිණියාහුය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියාහුය. එකත්පසෙක හුන් ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට “ස්වාමීනි යම් ගොපල්ලෙකු විසින් අද බුදුන් ප්‍රධාන භික්‍ෂුසංඝයා දිය නුමුසු කිරිබතින්ද අළුත් ගිතෙලින්ද, සියතින් සතප්පවන ලද්දේද, පවරණ ලද්දේද, ස්වාමීනි, ඒ ගොපලුතෙම එක්තරා පුරුෂයෙකු විසින් සීමාව අතරේදී ජීවිතයෙන් තොරකරණ ලද්දේයයි” කීවාහුය.
5. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීතිවාක්‍යය ප්‍රකාශකළසේක.
“සොරෙක් හෝ සතුරෙක් හෝ යමෙකුට නපුරක් කරන්නේද දශ අකුශල්හි යෙදූ සිත ඒ පුද්ගලයාට සොර සතුරන් විසින් කරණු ලබන අනර්ථයට වැඩිවූ අනර්ථයක් කරන්නේය. ඔහු අතිශයින් ලාමක කරන්නේය.”
4. 4.
ජුණ්හ සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ද, ආයුෂ්මත් මහාමොග්ගල්ලානයන් වහන්සේ ද කපෝතකන්දරාවෙහි වැඩවසති. ඒ කාලයෙහි ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙමේ ආලෝකවත් රාත්‍රියෙහි අළුත මුඩුකළ හිසින් යුක්තව අවකාශ ස්ථානයෙහි එක්තරා සමාධියකට සමවැදහුන්නේ වේ. ඒ අවස්ථාවෙහි යහළු යක්‍ෂයන් දෙදෙනෙක් කිසියම් කරුණක් කරණ කොටගෙන උතුරු දිගින් දකුණු දිගට යන්නාහු ඒ යක්‍ෂයෝ ආලෝකවත් රාත්‍රියෙහි අළුත මුඩුකළ හිසද ඇතිව අවකාශස්ථානයෙහි හුන් ආයුෂ්මත් ශාරීපුත්‍රයන් දැක එක් යක්‍ෂයෙක් දෙවෙනි යක්‍ෂයාට “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේයයි” කීයේය. මෙසේ කී කල්හි ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට, “යහළුව එපා ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළු, ඒ ශ්‍රමණයා උදාර කෙනෙකි. මහත් සෘද්ධි ඇත්තේය, මහත් ආනුභාව ඇත්තේයයි” කීයේය. දෙවනුවත් ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට, “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේයයි” කීයේය. දෙවනුවත් ඒ යක්‍ෂතෙම ඒ යක්‍ෂයාට “යහළුව කම් නැත ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළුව ඒ ශ්‍රමණයා උදාර කෙනෙක, මහත් සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි.” තුන්වෙනුවත් ඒ යක්‍ෂ තෙම ඒ යක්‍ෂයාට “යහළුව, මේ ශ්‍රමණයාගේ හිසෙහි පහරක් දෙන්නට මට සිතේ යයි” කීයේය. තුන්වෙනුවත් ඒ යක්‍ෂ තෙම ඒ යක්‍ෂයාට “යහළුව, කම්නැත, ශ්‍රමණයාට හිරිහැර නොකරව, යහළුව ඒ ශ්‍රමණයා උදාර කෙනෙකි, මහත් සෘද්ධි ඇත්තෙකි. මහත් ආනුභාව ඇත්තෙකි.”