3. 9.
සිප්ප සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ සවස් කාලයෙහි මණ්ඩල මාලයෙහි එක්වු රැස්වූ බොහෝ භික්ෂූන්ගේ මේ අතුරු කථාවක් ඇතිවිය: “ඇවැත්නි, කවරෙක් වනාහි ශිල්පය දනීද කවරෙක් කවර ශිල්පයක් ඉගෙණගන්නේද, ශිල්පයන්ගේ කවර ශිල්පයක් උතුම්ද?” යනුයි.
ඇතැමෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ඇත් ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් අශ්ව ශිල්පය උතුම්ය.” අයෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් රථ ශිල්පය උතුම්ය.” ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ධනු ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් කඩු ශිල්පය උතුම්ය.” තවත් කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ඇඟිලි මුද්රා ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ගණිත ශාස්ත්රය උතුම්ය.” තවත් අයෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් සඞ්ඛාන ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ලිවීමේ ශාස්ත්රය උතුම්ය.” තවත් අයෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් කාව්ය ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ලෝකායත ශිල්පය උතුම්ය.” ඇතැමෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ක්ෂත්රිය විද්යා ශිල්පය උතුම්ය.” ඒ භික්ෂූන්ගේ මේ අතුරු කථාව ඉතිරිවිය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගිටිසේක් මණ්ඩල මාලය යම් තැනකද එතැන්හි වැඩිසේක. වැඩ පනවනලද අස්නෙහි වැඩසිටියහ. වැඩහිඳම භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද? යුෂ්මතුන්ගේ කවර නම් අතුරුකථාවක් කොට ඉතිරිවීද?” යනුයි.
“ස්වාමීනි මෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු සවස්කාලයෙහි මණ්ඩල මාලයෙහි එක්වූ රැස්වූ අපගේ මේ අතුරුකථාවක් ඇතිවිය: ‘කවරෙක් වනාහි ශිල්පය දනීද කවරෙක් කවර ශිල්පයක් ඉගෙණගන්නේද, ශිල්පයන්ගේ කවර ශිල්පයක් උතුම්ද?’ යනුයි. ඇතැමෙක් මෙසේ කීහ: ‘ඇත් ශිල්පය උතුම්ය’ ... (පෙර පරිදිමයි) ... ‘ක්ෂත්රිය විද්යා ශිල්පය උතුම්ය’. ස්වාමීනි මේ අතුරුකථා ඉතිරිවිය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ වැඩිසේක යනුයි.”
“මහණෙනි, ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම අනගාරිකව පැවිදිවූ කුලපුත්රවූ යුෂ්මතුන්ට යම් මෙබඳු කථාවක් කරන්නහුද, මෙය සුදුසු නොවේ. මහණෙනි, රැස්වූ යුෂ්මතුන්ට කටයුතු දෙකක් ඇත්තේය: දැහැමි කථාව හෝ ආර්ය වූ තුෂ්ණිම්භාවයයි.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය ප්රකාශ කළ සේක:
“ශිල්ප රහිතව ජීවත්වන, සැහැල්ලු පැවැත්මක් ඇති, තමහට වැඩකැමති, ඉන්ද්රියයන් හික්මවූ, සියලු කෙලෙස් දුරු කළ, බැඳුන නිවාසයක් නැති, මමය මාගේයයි ගැනීම රහිත, ආශා රහිත, මානය හැරපියා තනිව හැසිරෙන හෙතෙමේ භික්ෂු නමි.”
3. 10.
ලොකවොලොකන සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්යවතුන් වහන්සේ උරුවෙලාවෙහි නෙරඤ්ජරා ගංතෙර බෝධිරුක්ෂ මූලයෙහි පළමුව බුදුවූ සමයෙහි වැඩවසනසේක. එසමයෙහි වනාහි භාග්යවතුන් වහන්සේ සත්දිනක් එකම පළඟින් විමුක්ති සුව විඳිමින් වැඩසිටිසේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සත්දිනක් ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට බුදු ඇසින් ලොව බැලුසේක. බුදු ඇසින් ලොව බලන භාග්යවතුන් වහන්සේ රාගයෙන් හටගත්, ද්වේෂයෙන් හටගත්, මෝහයෙන් හටගත් නොයෙක් තැවීම්වලින් තැවෙන නොයෙක් දාහවලින් දැවෙන සත්වයන් දැක වදාළ සේක.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය ප්රකාශ කළසේක:
“තැවීම් ඇති ස්පර්ශයෙන් පීඩීත මේ ලෝකය ආත්මවශයෙන් සිතන්නහුට රෝගයක් යයි කියයි. යමෙකු විසින් යම් යම් ආකාරයකින් (එය) සිතාද, එය ඊට අන්පරිද්දෙකින් වෙයි.”
“අන් අයුරකින් වන ලෝකයා භවයෙහි ඇලී භවයම සතුටින් පිළිගනී. යමක සතුටු වේද ඒ භයකි. යමකට භයවේද ඒ දුකකි. භවය දුරු කිරීමට වනාහි මේ බඹසර හැසිරෙයි.”