3. 10.
ලොකවොලොකන සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක්සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ උරුවෙලාවෙහි නෙරඤ්ජරා ගංතෙර බෝධිරුක්‍ෂ මූලයෙහි පළමුව බුදුවූ සමයෙහි වැඩවසනසේක. එසමයෙහි වනාහි භාග්‍යවතුන් වහන්සේ සත්දිනක් එකම පළඟින් විමුක්ති සුව විඳිමින් වැඩසිටිසේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සත්දිනක් ඇවෑමෙන් ඒ සමාධියෙන් නැගිට බුදු ඇසින් ලොව බැලුසේක. බුදු ඇසින් ලොව බලන භාග්‍යවතුන් වහන්සේ රාගයෙන් හටගත්, ද්වේෂයෙන් හටගත්, මෝහයෙන් හටගත් නොයෙක් තැවීම්වලින් තැවෙන නොයෙක් දාහවලින් දැවෙන සත්වයන් දැක වදාළ සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළසේක:
“තැවීම් ඇති ස්පර්ශයෙන් පීඩීත මේ ලෝකය ආත්මවශයෙන් සිතන්නහුට රෝගයක් යයි කියයි. යමෙකු විසින් යම් යම් ආකාරයකින් (එය) සිතාද, එය ඊට අන්පරිද්දෙකින් වෙයි.”
“අන් අයුරකින් වන ලෝකයා භවයෙහි ඇලී භවයම සතුටින් පිළිගනී. යමක සතුටු වේද ඒ භයකි. යමකට භයවේද ඒ දුකකි. භවය දුරු කිරීමට වනාහි මේ බඹසර හැසිරෙයි.”
“යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ භවයෙන්ම භවයාගේ මිදීම කීවාහුද ඒ සියල්ලෝම භවයෙන් නොමිදුනාහුයයි වදාරමි.”
“යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ විභවයෙන්ම භවයාගේ නික්මීම කීවාහුද ඒ සියල්ලෝම භවයෙන් නොනික්මුනෝයයි වදාරමි.”
“උපධීන් නිසා මේ දුක පැමිණෙයි. සියලු උපාදානයන්ගේ නැති කිරීමෙන් දුකෙහි ඉපදීමක් නැත. මේ ලෝකය බලව, අවිද්‍යාවෙන් යුත් සත්වයෝ හටගත්හ, හටගැනීමෙහි ඇළුනෝය, භවයෙන් නොමිදුනෝය.”
“යම්කිසි භවයකින් සැමතැන සියලු ආකාරයෙන් යම් භවයෝ වෙත්ද, ඒ සියලු භවයෝ අනිත්‍යය, දුක්ය, වෙනස්වන ස්වභාව ඇත්තෝය.”
“මෙසේ මෙය ඇතිපරිද්දෙන් මනා නුවණින් දක්නා තැනැත්තේ භව තෘෂ්ණාව දුරුකරයි. විභවයෙහි සතුටු නොවෙයි. සර්වප්‍රකාරයෙන් තෘෂ්ණාවන්ගේ ක්‍ෂයවීමෙන් ඉතිරිනොවූ විරාග නිරෝධය නම් වූ නිර්වාණය ලබයි.”
“නිවුනාවූ ඒ භික්‍ෂුවට උපාදානයන්ගේ නැවත ඇතිවීමක් නොවෙයි. මාරයා මැඩ කෙලෙස් සටනින් ජයගත් ඔහු සියලු භවයන් ඉක්මවූයේය.”
තුන්වන නන්ද වර්ගය නිමියේය.
එහි උද්දානය:
“කම්ම, නන්ද, යසෝජ, සාරිපුත්ත, කොලිත, පිලින්දිවච්ඡ, කස්සප, පිණ්ඩ, සිප්ප සහ ලෝක යන මේ සූත්‍ර දසයයි.”
මෙඝිය වර්ගය
4. 1.
මෙඝිය සූත්‍රය
1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ චාලිකා පර්වතයෙහි වූ චාලිකාවෙහි වැඩවසන සේක. එසමයෙහි ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේගේ උපස්ථායකව සිටියහ. ඉක්බිති ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. එකත්පසෙක සිටි ආයුෂ්මත් මේඝිය තෙරණුවෝ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකළහ: ‘ස්වාමීනි, මම ජන්තුගාමය වෙත පිඬු පිණිස පිවිසෙනු කැමැත්තෙමි’. “මේඝිය, යමකට ඔබ දැන් කාලය යයි සිතන්නෙහි නම් එසේ වේවා”.