3. 8.
පිණ්ඩපාතික සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි බොහෝ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතයෙන් වැළකුණු සවස් කාලයෙහි කරේරි මණ්ඩලමාලයෙහි රැස්ව හුන්නාහු, ඔවුන් අතර මේ අතුරු කථාවක් පහළවිය:
“ඇවැත්නි පිණ්ඩපාතික භික්ෂුව පිණ්ඩපාතයෙහි හැසිරෙන විට කලින් කළ මන වඩන රූපයන් ඇසින් දකින්නට ලැබෙයි. කලින් කළ මනවඩන ශබ්දයන් කණින් අසන්නට ලැබෙයි. කලින් කළ මනවඩන රශයන් දිවින් රශ බලන්නට ලැබෙයි. කලින් කළ මනවඩන ස්පර්ශයන් කයින් ස්පර්ශ කරන්නට ලැබෙයි. ඇවැත්නි, පිණ්ඩපාතික භික්ෂුව සත්කාර කරණ ලද්දේ ගරුකාර කරණ ලද්දේ බහුමාන කරණ ලද්දේ පුදන ලද්දේ සලකන ලද්දේ පිඬු පිණිස හැසිරෙයි. එබැවින් අපිද පිණ්ඩපාතිකයෝ වෙමු. අපිද කලින් කල මනවඩන රූපයන් ඇසින් දකින්නට හැකිවෙමු. අපිද කලින් කළ මනවඩන ශබ්දයන් කණින් අසන්නට හැකිවෙමු. අපිද කලින් කල මනවඩන සුවඳ නාසයෙන් ආඝ්රානය කරන්නට හැකිවෙමු. අපිද කලින් කල මනවඩන රශයන් දිවෙන් රශ බලන්නට හැකිවෙමු. අපිද කලින් කළ මනවඩන ස්පර්ශයන් කයින් ස්පර්ශ කරන්නට හැකිවෙමු. අපිද සත්කාර කරණ ලද්දෝ ගරුකාර කරණ ලද්දෝ බහුමාන කරණ ලද්දෝ පිඬු පිණිස හැසිරෙන්නෙමු” කියායි. ඒ භික්ෂූන් ගේ මේ අතුරුකථාව ඉතිරි වීය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටිසේක් කරේරි මණ්ඩල මාලය (රවුම් මළුව) යම් තැනකද එතැන්හි වැඩි සේක. වැඩ පනවල ලද ආසනයෙහි වැඩ සිටි සේක. වැඩහිඳ භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව හුන්නහුද? යුෂ්මතුන්ගේ කවර නම් අතුරු කථාවක් ඉතිරිවීද?” යනුවෙනි.
“ස්වාමීනි, මෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු සවස් කාලයෙහි කරේරි මණ්ඩල මාලයෙහි එක්වූ රැස්වූ අපගේ මේ අතුරු කථාවක් ඇතිවිය: ‘පිණ්ඩපාතික භික්ෂුව පිණ්ඩපාතයෙහි හැසිරෙන විට කලින් කළ මන වඩන රූපයන් ඇසින් දකින්නට ලැබෙයි...’ (විස්තර වශයෙන් පෙර පරිදිමයි) ... ‘අපිද සත්කාර කරණ ලද්දෝ ගරුකාර කරණ ලද්දෝ බහුමාන කරණ ලද්දෝ පිඬු පිණිස හැසිරෙන්නෙමු’යි. ස්වාමීනි, මේ අපගේ අතුරු කථාව ඉතිරිවූයේ විය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ වැඩි සේක.”
“මහණෙනි ශ්රද්ධාවෙන් ගිහිගෙයින් නික්ම ශාසනයෙහි පැවිදිවූ කුලපුත්රවූ යුෂ්මතුන්ට මෙය සුදුසු නොවේ. යුෂ්මත්හු යම් ඒ මෙබඳු කථාකරන්නහුද, මහණෙනි, රැස්වූ යුෂ්මතුන් විසින් වැඩ දෙකක් කටයුතුය. දැහැමි කථාව හෝ ආර්යවූ තුෂ්ණිම්භාවයද යනුයි.”
ඉක්බිති භාග්යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්රීති වාක්යය වදාළ සේක:
“තමා පොෂණය කරන්නාවූ අනුන් පොෂණය කිරීමක් නැති තාදීවූ පිණ්ඩපාතික භික්ෂුවට, ඉදින් කීර්ති ප්රශංසාවෙහි නොඇළුනේ නම්, දෙවියෝ කැමතිවෙත්.”
3. 9.
සිප්ප සූත්රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි පිණ්ඩපාතයෙන් වැළකුණාවූ සවස් කාලයෙහි මණ්ඩල මාලයෙහි එක්වු රැස්වූ බොහෝ භික්ෂූන්ගේ මේ අතුරු කථාවක් ඇතිවිය: “ඇවැත්නි, කවරෙක් වනාහි ශිල්පය දනීද කවරෙක් කවර ශිල්පයක් ඉගෙණගන්නේද, ශිල්පයන්ගේ කවර ශිල්පයක් උතුම්ද?” යනුයි.
ඇතැමෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ඇත් ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් අශ්ව ශිල්පය උතුම්ය.” අයෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් රථ ශිල්පය උතුම්ය.” ඇතැම් කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ධනු ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් කඩු ශිල්පය උතුම්ය.” තවත් කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ඇඟිලි මුද්රා ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ගණිත ශාස්ත්රය උතුම්ය.” තවත් අයෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් සඞ්ඛාන ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ලිවීමේ ශාස්ත්රය උතුම්ය.” තවත් අයෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් කාව්ය ශිල්පය උතුම්ය.” කෙනෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ලෝකායත ශිල්පය උතුම්ය.” ඇතැමෙක් මෙසේ කීහ: “ශිල්පයන්ගෙන් ක්ෂත්රිය විද්යා ශිල්පය උතුම්ය.” ඒ භික්ෂූන්ගේ මේ අතුරු කථාව ඉතිරිවිය.
ඉක්බිති භාග්යවතුන් වහන්සේ සවස් වේලෙහි විවේකයෙන් නැගිටිසේක් මණ්ඩල මාලය යම් තැනකද එතැන්හි වැඩිසේක. වැඩ පනවනලද අස්නෙහි වැඩසිටියහ. වැඩහිඳම භාග්යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූසේක. “මහණෙනි, දැන් කවර කථාවකින් යුක්තව සිටියාහුද? යුෂ්මතුන්ගේ කවර නම් අතුරුකථාවක් කොට ඉතිරිවීද?” යනුයි.
“ස්වාමීනි මෙහි පිණ්ඩපාතයෙන් වැළකුණු සවස්කාලයෙහි මණ්ඩල මාලයෙහි එක්වූ රැස්වූ අපගේ මේ අතුරුකථාවක් ඇතිවිය: ‘කවරෙක් වනාහි ශිල්පය දනීද කවරෙක් කවර ශිල්පයක් ඉගෙණගන්නේද, ශිල්පයන්ගේ කවර ශිල්පයක් උතුම්ද?’ යනුයි. ඇතැමෙක් මෙසේ කීහ: ‘ඇත් ශිල්පය උතුම්ය’ ... (පෙර පරිදිමයි) ... ‘ක්ෂත්රිය විද්යා ශිල්පය උතුම්ය’. ස්වාමීනි මේ අතුරුකථා ඉතිරිවිය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ වැඩිසේක යනුයි.”