3. 5.
කොලිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම්වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ඇවැත්වූ මහමුගලන් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට නුදුරෙහි පළක් බැඳ කය කෙළින් තබා කය අනුව බලන සිහිය ඇතුළත යොදවා හුන්නේ වෙයි. පළක් බැඳ කය කෙළින් තබා කය අනුව බලන සිහිය ඇතුළත යොදවා නුදුරෙහි හුන් ඇවැත්වූ මහමුගලන් තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දුටුසේක්මය.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍ය ප්‍රකාශ කළසේක:
“කය අනුව බලන සිහිය යෙදූ සවැදෑරුම් ස්පර්ශායතනයන්හි හික්මීම ඇති නිතර එකඟ සිත් ඇති භික්‍ෂූතෙම තමාගේ නිර්වාණය දන්නේය.”
3. 6.
පිළින්‍දිවච්ඡ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන නම්වූ කලන්දක නිවාපයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ ස්ථවිර තෙම භික්‍ෂූන්ට වසල වාදය කියමින් හැසිරෙයි. ඉක්බිති බොහෝ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක සිටියහ. එකත්පසෙක සිටියාවූ ඒ භික්‍ෂුහු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ: ‘ස්වාමීනි, ආයුෂ්මත් පිලින්‍දිවච්ඡතෙම භික්‍ෂූන්ට වසල වාදය කියමින් හැසිරෙයි’ යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ එක්තරා භික්‍ෂුවකට ඇමතූසේක: ‘මහණ, මෙහි එනු මැනවි. මාගේ වචනයෙන් “ඇවැත් පිලින්‍දිවච්ඡයෙනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ කැඳවන්නේයයි” පිලින්‍දිවච්ඡ භික්‍ෂුවට අඬගසනු මැනවි.’ ‘එසේය ස්වාමීනි’යි ඒ භික්‍ෂුව භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවචන දී ආයුෂ්මත් පිළින්‍දිවච්ඡ තෙම යම් තැනකද එහි පැමිණියේය. පැමිණ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට මෙය කීවේය: ‘ඇවැත්නි, ඔබට ශාස්තෲන්වහන්සේ අමතන සේක.’ ‘එසේය ඇවැත්නි’යි ආයුෂ්මත් පිලින්‍දිවච්ඡතෙම ඒ භික්‍ෂුවට පිළිතුරු දී භාග්‍යවතුන් වහන්සේ යම් තැනක්හිද එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක සිටියාවූ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡ තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: ‘වච්ඡය. ඔබ භික්‍ෂූන්ට වසල වාදයෙන් කථාකරන්නේය යනු සැබෑද?’ ‘එසේය ස්වාමීනි’යි.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් පිලින්‍දිවච්ඡයන්ගේ පෙර විසූ ජාති පිළිවෙල සිහිකොට භික්‍ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යුෂ්මත්හු වච්ඡ භික්‍ෂූවට දොස් නැගීම වශයෙන් ශබ්ද නොකරව්. මහණෙනි, වච්ඡ භික්‍ෂූව ඇතුළත කෝපය ඇතිව භික්‍ෂූන්ට වසල වාදය නොකියයි. මහණෙනි, වච්ඡ භික්‍ෂූව ජාති පන්සියයක් කොකඩවම බ්‍රාහ්මණ කුලයෙහි උපන්නේය. ඔහුට ඒ වසල වාදය බොහෝ කලක් පලපුරුදුය. එහෙයින් මේ වච්ඡ භික්‍ෂුව භික්‍ෂූන්ට වසල වාදය කියමින් හැසිරෙයි.”
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ ප්‍රීති වාක්‍යය ප්‍රකාශ කළ සේක:
“යමකු කෙරෙහි රැවිටිල්ලද මාන්නයද නොපවතීද යමෙක් ක්‍ෂය කළ ලෝභ ඇත්තේ මමය මාගේයයි දෘෂ්ටිය නැත්තේ ආශාව නැත්තේ ක්‍රෝධය වෙන් කෙළේ නිවුණු ආත්ම භාවයක් ඇත්තේද හෙතෙම බ්‍රාහ්මණ නම් වේ, ශ්‍රමණ නම් වේ, භික්‍ෂු නම් වේ.”
3. 7.
කස්සප සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී: එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර වේළුවන නම්වූ කලන්දක නිවාපයෙහි වැඩවසන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේ පිප්ඵලි ගුහාවෙහි වාසය කරති. එක්තරා සමාධියකට සමවැද සත් දිනක් එකම පළඟින් වැඩ සිටියේ වෙයි.